සභාපතිවරුන් තේරීමේදී මුදල් වරප්‍රසාද දී ඇති බවට තොරතුරු හෙළිවේ

0
86

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කර ගැනීම සඳහා මහා පරිමාණයෙන් මුදල් හා වරප්‍රසාද හුවමාරු වෙමින් තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසූවේ ඇතැම් ස්ථානවල රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා මුදල් ලබා දී ඇති බව ය.

මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාසයට වගකියන නියෝජිතයෙකු පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අනපනත්වලින් ඇති කළ ඡන්ද ක්‍රමය ගැන විෂයය භාර ඇමතිවරයා දරන මතය එසේ වුවත් ප්‍රායෝගික තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත.

ඊයේ පුත්තලම නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සිදු වූයේ උණුසුම් වට පිටාවකය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කේ. ඒ. බායිස් මහතා සභාපති ධූරයට පත් වූ අතර පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාරට උප සභාපති අසුන හිමි විය.

ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසයට හා එක්සත් ජාතික පක්ෂයට ආසන 7 බැගින් හිමිවී තිබිණි.

පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක්, නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් හා ස්වාධීන කණ්ඩායම්වලින් තවත් දෙදෙනෙක් මෙම සභාවට තේරී පත් ව සිටි.

මේ අතර හලාවත නගර සභාවට අද සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වූයේ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙනි.

සභිකයන් 20කගෙන් සමින්විත හලාවත නගර සභාවේ ජන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සභිකයන් 10 දෙනෙකු සිටිය යුතු වනු ඇත.

නමුත් අදාළ අවස්ථාව වන විට සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පමණි.

ජන්ද විමසීම කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් විරෝධය පළ කිරීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා සභාවෙන් පිටතට ගෙන ගියේ පොලිස් ආරක්ෂාව යටතේය.

මේ අතර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් දිනා සිටි තලවකැලේ ලිදුල නගර සභාවේ බලය ස්වාධින කණ්ඩායමක් හිමිකර ගත්තේ ය.

ඒ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන කණ්ඩයාමක් තවත් ස්වාධීන කණ්ඩායමකට සහාය පළ කිරීම හේතුවෙනි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340 න් අඩකට පමණ සභා පිහිටුවීමේ බලය තනි පක්ෂයකට හිමි වී නොමැත.

මේ නිසා බොහෝ පළාත් පාලන ආයතනවල නගාරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු වූයේ ඡන්ද විමසීමෙනි.

පෙරේදා පැවති අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමා අල්ලස් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජන්දය ලබාදුන් බව ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඉෂාරා මධුෂාණි මහත්මිය ඊයේ පිළිගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here