ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය පසුපස ඇති කටුක කතාව

0
1245

රිදීතිරය පිටුපස ඇති කතාව එය නරඹනවා තරම් රසවත් එකක් ද? චිත්‍රපට නිර්මාණ කිරීම මතු නොව එය ප්‍රදර්ශනය කරවා ගැනීම මේ තරම් අපහසු කටයුත්තක් බව මෙම ලිපියෙහි අවසානය තෙක් ඔබ නොදන්නවා ඇති. දෙරණ 3rd BELL වැඩසටහනෙහි තරුණ පරපුරේ සිනමා කරුවන් තිදෙනෙකු තම සිනමා අත්දැකීම් පිළිබඳව දැක්වූ අදහස් මෙලෙස සටහන් කරන්නේ එම ඛේදනීය කතාව ප්‍රේක්ෂක ඔබ ද දැන සිටිය යුතු බැවිනි.. motor bicycle චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න, නිනෝ ලයිව් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තිසර ඉඹුලාන සහ බහුචිතවාදියා චිත්‍රපටයේ අධ්‍යක්ෂක මාලක දේවප්‍රිය මෙහි අදහස් දක්වයි..

“මගේ චිත්‍රපටිය Release කරගන්න මම ලියුම් දීලා තියනවා file මිටි ගණන්”- motor bicycle චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න

ඕනම කෙනෙකුට චිත්‍රපටයක් හදන්න පුළුවන්..ඒත් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයාමයි අභියෝගය. අර්බුදය..අපි චිත්‍රපටි කරන්න යන කාලෙට වඩා කාලයක් බලාගෙන ඉන්නවා කොහොමද චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්නෙ කියලා..අවුරුදු ගණන් රස්තියාදු වෙනවා.. චිත්‍රපටි සම්බන්ධ වගකිවයුතු නිළධාරින් වුනත් අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ නැහැ. සාකච්ඡාවලට පමණක් සීමා වෙලා.. ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක නැහැ.. මගේ චිත්‍රපටිය Release කරගන්න මම ලියුම් දීලා තියනවා file මිටි තරම්. චිත්‍රපට සංස්ථාවට ගොස් සිදු කළ හමුවීම් වලවත් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ චිත්‍රපටිය එලියට දාන්න. චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කිරීමත් සමඟයි මට අවස්ථාව ලැබෙන්නේ මෙම චිත්‍රපටය රිලීස් කර ගන්න. ඔවුන් කැමැත්තෙන් මට අවස්ථාව ලබා දුන්නේ නැහැ.. යටකී හේතුව මත අවකාශ සැලසුනා චිත්‍රපටය එලියට දාන්න. ඒ කාලේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ට ණය දුන්නා චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතුවලට.. ඒත් මට ලැබුණේ නැහැ ඒ මම අලුත් නිසා. මගේ වාසනාවට ප්‍රදර්ශකයකයෙක් හා බෙදාහරින්නෙක් හමුවුණ නිසයි මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණෙ..

“අනිත් අයගෙ ළමයි ඉස්කෝලේ යනවා බලාගෙන මගේ ළමයා ගෙදර තියාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි මට කරන්න සිද්ධ වුණේ..”- නිනෝ ලයිව් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තිසර ඉඹුලාන

මමත් ගියා චිත්‍රපට ශාලා, සංස්ථා හා මණ්ඩල වලට.. ඒ වෙනකොට ඩිජිටල් තාක්ෂණයත් ඒ අයට අලුත්. පැරණි තාක්ෂණය භාවිත නොකළ නිසා “මෙය චිත්‍රපටයක් නොවේ ය” කියන අදහසත් ඔවුන් තුළ තිබුණා.. තනි පුද්ගලයෙක් වශයෙන් මාහට චිත්‍රපටය ‍ප්‍රදර්ශනය කරවා ගැනීමට අමතරව ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමටත් සිදුවීම ඛේදවාචකයක්. ඊට පස්සෙ මම අවුරුදු පහක් චිත්‍රපට සංස්ථාව පැත්ත පළාතේ ගියේ නැහැ. අනිත් අයගෙ ළමයි ඉස්කෝලේ යනවා බලාගෙන මගේ ළමයා ගෙදර තියාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි මට කරන්න සිද්ධ වුණේ..

“අවුරුදු 70ක සිනමා ඉතිහාසයක් සහිත සිනමා සංරක්ෂණාගාරයක් අහිමි එකම රට මේක” -බහුචිතවාදියා චිත්‍රපටයේ අධ්‍යක්ෂක මාලක දේවප්‍රිය

ලෝකයේ තියෙනවා art සහ craft කියල දෙකක්.. සිනමාව කියන්නේ කලාවක් ද එහෙම නැත්නම් වෙළඳ භාණ්ඩයක්ද? කවිය කියන්නේ කලාවක් ද ද වෙළඳ භාණ්ඩයක්ද? චිත්‍රය කලාවක් ද එහෙම නැත්නම් වෙළඳ භාණ්ඩයක්ද? ලංකාව වගේ රටක බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සිනමාවෙන් කරන්න ඕන භාණ්ඩ නිෂ්පාදනය වගේ දෙයක් කියලා.. ලෝක ඉතිහාසය දෙසට හැරුණොත් සිනමාව ධනවාදයේ කූටප්‍රාප්තිය සමඟ පැමිණි දෙයක්. එය දියුණු වූයේ කලාවක්. සිනමාව ඔස්සේ සිදුවූයේ කලාකෘති නිර්මාණය කිරීමයි. ඕනෑම කලා කෘතියක් නැරඹීමට යම් ප්‍රේක්ෂකාගාරයක් සිටින බව මා විශ්වාස කරනවා. එය එසේ නොවන්නේ නම් එයට හේතුව විධිමත් යාන්ත්‍රණයක් නොමැති කම. ලංකාවේ නැතිම දේත් ඒක.. වගකිවයුත්තෝ අපට නිතර කියන දෙයක් තමයි “බලන්න පුළුවන් එකක් කරන්න” කියලා.. ඔවුන් සිතා සිටින්නේ චිත්‍රපට නිර්මාණය කියන්නේ තේ හදනවා වගේ, සබන් , දත් බෙහෙත් විකුණන වගේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් කියලා.. කාම රැල්ල ළමා රැල්ල , යුධ වින්දන සිනමාව ඓතිහාසික කතා වගේ රැලිවල අරමුණ ධනය උත්පාදනය කිරීමයි…. රටක සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය වගකිව යුතුයි. සමහරු කියනවා “සිනමාවේ අර්බුදයක් නැහැ අර්බුදයක් ගැන කතා කිරීමත් ලොකු ප්‍රශ්නයක් කියලා. ඒක විහිළුවක්”.. රටේ මිනිස්සුන්ගේ අධ්‍යාපනික සංස්කෘතික ආර්ථික දේ සම්බන්ධව තීරණ ගැනීම රාජ්‍ය වගකීමක්.. නමුත් අවාසනාවට මේ කිසිවක් පිළිබඳ විධිමත් ප්‍රතිපත්තියක් නැහැ. සිනමාව සම්බන්ධ කොමිෂන් වාර්තා ආරම්භ වන්නේ 1965 පමණ වකවානුවේ සිටයි. සංස්ථාවක්, කර්මාන්තයක් සහ ජාතික ප්‍රතිපත්තියක් විදියට චිත්‍රපට ඉදිරියට රැගෙන ඒම පිළිබඳව බොහෝ තීරණ ගෙන තිබෙනවා. එන් . එම්. පෙරේරා වැනි වාමාංශිකයින් පවා චිත්‍රපට පෙන්වීම පිළිබඳ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිකම සම්බන්ධයෙන් ප්‍රශ්න කොට තිබෙනවා. ආණ්ඩු පෙරළියත් සමඟ ‘සක්ක’ ගැසීමක් විනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් එදාමෙදා තුර සිදුවී නැහැ. ඩී. බී . නිහාල්සිංහ ගේ සිට සංස්ථා සභාපති වරුන්ට විධිමත් ප්‍රතිපත්තියක් තිබී නැහැ. සිදුවූයේ තමන්ගේ කාලවකවානු තුළ තමන්ට වාසිදායක ව්‍යාපෘතියක් දියත් කිරීම පමණයි. එක් පාර්ශවයක් චිත්‍රපට සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දරද්දී තවත් පාර්ශවයක් රජයට පවරා ගැනීමට උත්සාහ දැරුවා . එකිනෙකට පටහැනි නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකම් නිසා අපි වැනි පළමු තරුණ චිත්‍රපට නිර්මාපකයින්ට බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙනවා. ශමීර නාඔටුන්න – ලංකාවේ සිනමා සාක්ෂරතාව දියුණු විය යුතුයි -තරුණ නිර්මාණකරුවන් බොහෝ විට තමා ආත්ම ප්‍රකාශන නිර්මාණ හරහා ගෙන එන අය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලාභ ඉපයීම පමණක් ද? මගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයෙ තියෙනවා කාමරයක් තුළ දර්ශනයක්..ඒ දර්ශනය චිත්‍රපටයෙන් ඉවත් කලොත් ලක්ෂ සීයක් පමණ ආදායම් වැඩි වන බව පවසා ඔවුන් මට බලපෑම් කලා. මම හිතන්නේ ලංකාවේ සිනමා සාක්ෂරතාව දියුණු විය යුතුයි. සිනමා කර්මාන්තය ගොඩනැගීම කියන කාරණාවේදී ප්‍රේක්ෂකාගාරය පිලිබඳව සැලකිය සැලකිලිමත් විය යුතුයි. නමුත් වගකිවයුත්තන් චිත්‍රපට නිර්මාණය පිළිබඳව නිර්මාපකයින්ට උපදෙස් දෙන තැනට පත්වෙලා.. commercial film එකක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ පොඩි ලමයෙක් ,බල්ලෙක්, ජෝඩුවක් සමන්විත වෙන්න ඕනේ වගේ හාස්‍යජනක formula ඔවුන් නිර්මාණය කර තිබුණා.. නිෂ්පාදකවරයාට ලාබයක් නැහැ ..

– තිසර ඉඹුලාන – ඔබේ චිත්‍රපටය දින කීයක් තිරගත වුණා ද?

දින 55ක් එම දින 55 තුළ නිෂ්පාදකවරයාට ලාභ ලැබීමට හැකි වූවා යැයි ඔබ සිතනවාද?

නැහැ . ප්‍රදර්ශකයාට පමණක් යම් ලාභයක් ලැබුණා චිත්‍රපට ප්‍රවේශ පත්‍රය රුපියල් කීයක් නම් නිෂ්පාදකවරයාට 45% ක් ලැබෙනවා..45%ක් සිනමාශාලා හිමියාට ලැබෙනවා.. ප්‍රදර්ශකයාට චිත්‍රපටයට කිසිම මහන්සියක් නොවී 10% ක ලාභයක් ලැබෙනවා. ඉතා විශාල වියදමක් දරා සිදුකරන චිත්‍රපටවල නිශ්පාදකයා පාඩු ලබද්දී බෙදාහරින්නා විශාල මුදලක් උපයා ගන්නවා

‘ස්වරූප’ අයින් කරලා ‘අප්පට සිරි’ ගත්තා -මාලක දේවප්‍රිය

චිත්‍රපට, අධ්‍යාපනය, පරිපාලනය, ප්‍රේක්ෂක රසිකත්වය චිත්‍රපට සංස්ථාවත් සමඟ බැඳී තිබෙනවා.. නමුත් ඒ කාරණා ඒ ආකාරයෙන් ඉටු වෙනවාද? දිනෙක මට චිත්‍රපට සංස්ථාවෙන් ලියුමක් ලැබෙනවා මියගිය සිනමාකරුවන් වෙනුවෙන් කරන පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වනව කියල.. චිත්‍රපට අර්බුදයක් අභිමුව චිත්‍රපට සංස්ථාවේ මූලිකම කාර්යභාර වෙලා තියෙන්නේ දාන වැඩසටහන් පින්කම් ගවයින් නිදහස් කිරීම් ,පරිත්‍රාණ ධර්මදේශනා.. සිනමාව සම්බන්ධ කිසිදු යාන්ත්‍රණයක් සංස්ථාව තුළ නැහැ.. අපි තමයි අවුරුදු 70ක සිනමා ඉතිහාසයක් සහිත සිනමා සංරක්ෂණාගාරයක් අහිමි එකම රට.. 2008 වසරේ සිනමා සංරක්ෂණාගාරයක් පිළිබඳ සංවාදයක් තිබුණා.. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.. මේ පිළිබඳව බීබීසී ලෝක සේවය සිදු කළ ප්‍රශ්න කිරීමකදී හිටපු සංස්ථා සභාපති තුමා පවසා සිටියෙ ” ලංකාවට සිනමා සංරක්ෂණාගාරයක් සිදු ආකාරයකින් අවශ්‍ය නැහැ” කියලා.. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ ‘දැන් සංරක්ෂණය කරන්න තරම් චිත්‍රපටි නෑ.. සියල්ලම විනාශ වෙලා ඉවරයි ඒ නිසා හදන එක පාඩුයි ” කියල.. දේශපාලන පත්වීම සහිතව යන බොහෝ සභාපතිවරුන්ගේ දෘෂ්ටිවාදය තමයි මේක.. තිස්ස අබේසේකර මහතා වැනි කීපදෙනෙක් හිටියා.. නමුත් ඒ ව්‍යාපෘති තුළ පැවති අඩුපාඩු වල ප්‍රතිඵල අද අත් විඳින්නට සිදුව තිබෙනවා. සිනමාව කිසිම නියාමනයකින් තොරව පෞද්ගලික අංශයට භාරදීම ඉන් එකක්.. උදාහරණයක් කියනවා නම් පසුගිය කාලේ මමත් , මා මිත්‍ර ශාම් කැල්ලපතත් උදව් කළා ආචාර්ය පතිරාජගේ ස්වරූප චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා එහි පිටපත් ශාලාවලට ලබා දීමට.. අවම වශයෙන් එම බොහෝ සිනමා ශාලාවල Cutout එකක් ගැසීමට පවා අවකාශ ලබා දුන්නෙ නැහැ. එය ලබාදුන්නෙ ප්‍රධාන දර්ශන හිමි සිනමා ශාලාවට.. කලින් ඔහුට පොරොන්දු වෙලා තිබුණෙ චිත්‍රපට ශාලා 20 ගණනක ප්‍රදර්ශන වාර ලබාදීමට.. නමුත් ඒකාලේ පැමිණි “අප්පට සිරි” චිත්‍රපටය නිසා සිනමා ශාලාව “ස්වරූප” චිත්‍රපටය අයින් කරලා “අප්පට සිරි” ගත්තා.. විධිමත් නියාමනයක්, යාන්ත්‍රණයක් සහ වගකියන පිරිසක් නොමැතිව අපේ රටේ ත්‍රීවීල් දුවනවා සේ අයාලේ යන නන්නත්තාර වූ ක්‍රමවේදයක් තමයි දකින්නට ලැබෙන්නේ.. මෙවැනි විශාල චිත්‍රපටි ප්‍රමාණයක් පෝලිමේ තිබෙනවා. 1972 ඉඳලා සාකච්ඡා සහ කොමිෂන් වාර්තා තිබෙනවා. නමුත් තවම නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. මේ සඳහා ස්වාධීන කොමිෂන් සභා තුළින් යම් නියාමනයක් සිදු කළ යුතුයි. ඒ වගේම චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයක් ඇති වෙන්න ඕන.. බිත්තියේ ගහන හැම එකක්ම art එකක්ද? ලියන හැම වැකියක්ම කවියක්ද? ඒ වගේම සිනමා කැමරාවකින් රූගතකරන හැමදෙයක්ම කලා කෘතියක් බවට පත් වන්නෙත් නැහැ.. ඒ නිසා වර්ගීකරණය අත්‍යවශ්‍යයි. “සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ ඒක අවලංගු වෙච්ච දෙයක්” කියලා කියන එක හරියටම අන්තර්ජාලය පැමිණියාට පසු පොත අහෝසි වුණා කියලා හිතුවා වගේ.. සිනමාව පැමිණි පසු නාට්‍ය කලාව ඉවරයි කියා සිතුවා වගේ.. උදාහරණයක් ලෙස ජර්මනිය වැනි රටක contemporary art museum ,modern art museum හමුවෙනවා. .මාධ්‍ය පවා ක්‍රියාකරන්නෙ පෞද්ගලික දැනහැඳුනුම් කම්වලට.. සමහර චිත්‍රපට නිර්මාණය කිරීමටත් පෙර ඒවාට දින ලැබෙනවා. එවැනි මාෆියාවකුත් මේ තුළ ක්‍රියාත්මක වෙනවා. 1981 සිනමා ශාලා 364 ක් තිබුනත් මේ වෙනකොට 198 දක්වා සංඛ්‍යාත්මකව පහළ බැස තිබෙනවා.. නව තාක්ෂණය, sounds ප්‍රක්ෂේපණ ක්‍රම A/C පද්ධති ආපනශාලාවල මිලගනන් parking ආදී සියල්ලෙන් සමන්විත වුනොත් පමණයි මිනිසුන්ට සිනමා ශාලාවලට ගිහිල්ලා චිත්‍රපටයක් නරඹන්න හිතෙන්නේ… ‘තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණා..ඒ ඇති’ කියා නොසිතා අපි හැමෝම එකට එකතුවී කටයුතු කළ යුතුයි.

සිනමාවේ අර්බුදය මැද තිසර, ශමීර හා මාලක

සිනමාවේ අර්බුදය මැද තිසර, ශමීර හා මාලක

Posted by Bahuchithawadiya TheUndecided on Wednesday, March 21, 2018

 

දෙරණ 3rd BELL වැඩසටහන ඇසුරෙනි.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here