බහුතරයක් නිර්මාණකරුවන් කරන්නේ කෑ ගැසීම පමණයි – අශෝක කුලතුංග

0
81

කවියෙකු ලෙස වර්තමාන සමාජය ඔබ කියවා ගන්නේ කෙසේද ?

අතීතයට වඩා වර්තමානය තුළ සිදුවන ක්‍රියාවලියන් මහත් වූ ඛේදවාචකයයන්ගෙන් සමන්විතයි. ඒ නිසා පෙර කවි ඇසින් බැලූ විෂය කේෂ්ත්‍රයට වඩා පුළුල් ලෙස බැලිය හැකි විෂය කේෂත්‍රයන් බිහිවෙලා. වර්තමාන සමාජය තුල සිදුවන දේ ඇසුරින් හොද පණිවුඩයක් සමාජ ගත කිරීමට නිතර උත්සහ කරනවා.

නිර්මාණකරණයේදී මිනිසුන් සංවේදීවීම හා නිර්මාණවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වර්තමානය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද

නිර්මාණකරණයේදි මිනිසුන් සංවේදිවීමට නම් එම නිර්මාණය අසන හෝ විදින පාඨකයාත් අනිවාර්යයෙන්ම සංවේදි විය යුතුයි.එය සිදුවන්නේ නිර්මාණකරුවා එය ඉදිරිපත් කරන විලාසයටයි.එහිදී එහි ගුණාත්මකබාවයට අනිවාර්යයෙන්ම ඔහුට එම නිර්මාණකරණය පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුයි.අත්දැකීම් ප්‍රකාශ කරන ආකාරය ,යොදාගනු ලබන භාෂාව ,එහි පවතින රීතීන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි.වර්තමානයේදි කවිය තුල තවමත් පාඨකයාට විදිය හැකි ගුණාත්මකබාවයකින් යුතු නිර්මාණ බිහිවෙනවා.නමුත් ගීත පිළිබඳ සැලකුවොත් මන් හිතන්නෙ අතීතයේදි පාඨකයා වින්ද තරම් සංවේදිතාවයක් ගුණාත්මකබාවයක් වත්මනේ පවතිනවා කියලා. බොහොම අතලොස්සක් පමනක් ඉතාමත් හොද සංවේදි ගුණාත්මක නිර්මාණ බිහිකරන අතර බහුතරයක් කරන්නෙ කෑ ගැසීම පමනයි.

කවිය හුදු රස වින්දන මාධ්‍යයක් පමණක්මද ? මෙම විමසීමට හේතුව වන්නේ එක් එක් යුගයන්හිදී වීර කාව්‍ය සහ ජාතිවාත්සල්‍ය ඔප් නංවන කවි බිහි වීම සහ එය වර්මානයේ නොමැතිවීම හේතුවෙන්

මම හිතන්නෙ කවිය කියන්නෙ මනුෂ්‍ය ආධ්‍යාත්මයට රිංගිය හැකි මනුෂ්‍යයෙකු භාවමය හා ගුණාත්මක වශයෙන් ඉහලට ඔසවා තැබිය හැකි මාධ්‍යයක්.හුදෙක් එහි රසවින්දනයට එහා ගිය පණිවුඩයක් මතු කළ හැකියි. යුගයෙන් යුගයෙ සමාජයේ පවතින ගැටළු අනුව වීර කාව්‍ය ගොඩනැගුණු බව සත්‍යයි.අතීතයේ ඒ වෙනුවෙන්ම බිහිවුන නිර්මාණ තිබුනා.නමුත් වර්තමානයේත් එය නැතුවාම නොවේ.යම්තාක් දුරට එලෙස බිහ්වන කාව්‍ය අපට දක්නට ලැබෙනවා.

.බොහෝ කවි විරහව පදනම්ව පමණක් ගොඩ නැගී පවතිනවා. මෙයට හේතුව කුමක්ද

ඒක කවි නිර්මාණය කරනු ලබන නිර්මාණකරුවාගේ රුචිකත්වය අනුව සිදුවන දෙයක් සමහර කවින් ආදරය, විවිධ සමාජ විෂයන් ආදිය ගැන නිර්මාණකරනයේ යෙදෙන විට තවත් අයෙක් විරහව පමනක් ම තම නිර්මාණ සදහා යොදා ගන්නවා. කොහොම වුනත් ආදරය කියන්නෙ හැමෝම ලබන දෙයක්. ඒ තුල හටගන්නා විරහව කියන්නෙත් බොහොමත් දෙනා විදපු දෙයක්. ඒ නිසා කෙනෙක් විරහව පිළිබඳ නිර්මාණයක් කළ විට ඒ අත්දැකීම් ලබපු අයට ඒක ප්‍රබල ලෙස බලපානවා. ඉතිං විරහවට හැමෝම ආදරය කරනවා. ඒ අනුව වැඩිපුර කවි ඒ හරහා බිහිවෙනවා.

විරහව සහ ආදරය පදනම්ව ගොඩ නැගෙන කවි විසින් සමාජයේ තාරුණ්‍යයේ හිතැගීන් කවියට නැගීමක් පමණක්ද සිදුවන්නේ..

සමාජයේ තරුණ තරුණියන් අතර ප්‍රධානම වශයෙන් ව්‍යාප්තවන නිර්මාණ අතර විරහව සහ ආදරය මත පදනම් වු නිර්මාණ බොහෝය. ඒවා තරුණ සිත් ඉක්මනින් ග්‍රහනය කර ගන්නවා. මේ නිසා විරහව හා ආදරය ගැන නිර්මාණ බිහිවෙනවා . නමුත් ඊට එහා ගිය සමාජ ගැටලු පිළිබඳ අප කතා කළ යුතුයැයි මට සිතෙනවා. තරුණ සිත් අතරට විරහව ආදරය පමනක්ම සීමා කිරීම උචිත නැහැ.

.කලාවේ මුඛ්‍ය අරමුණ වන්නේ යථාර්තය සෞන්දර්යාත්මකව මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය කිරීමය කියල කියන්නේ ඒත් කවිය තුළ මේ යථාර්ත ප්‍රතිනිර්මාණය දකින්නට නොමැති තරම් මොකද්ද මේකට හේතුව

මම මුලින් කිව්වා වගෙ නිර්මාණකරනයේ යෙදෙන කොට ඒ පිළිබඳ හොද අධ්‍යයනයක් තිබිය යුතයි. අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන ආකාරය, ඒ සදහා භාෂාව පිළිබඳ පුළුල් අවබෝධය, එයින් තමා බලාපොරොත්තු වන අභිලාශය , එමගින් සමාජයට යහපත් තත්වයක් උදාවේද යන්න, යන කාරනා කෙරෙහි අනිවාර්යයෙන්ම හොද අවබෝධයක් තිබිය යුතයි. නිරන්තර සතතාභ්‍යාසයේ යෙදීම තුළ කවිය කෙලෙස ගොඩනැගිය යුතුද ,මානවයා තුළට එය ලබාදියහැකි උපක්‍රම මොනවාද ආදිය පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. එසේ නොවන නිර්මාණ තුළ ඔබ කියන සෞන්දර්යාත්මක යතාර්ථ සොබාවයක් දක්නට නෑ. වර්තමානය තුළ තාක්ෂණයේ දියුණුවත් සමඟ කවිය ඉතා ඉක්මනින් සමාජ ගත කළ හැකියි. මුදල් මත පදනම් වුන සමාජ රටාව තුළ බහුල වශයෙන් සිදුවන්නේ හොද නිර්මාණවලට වඩා කුමක් හෝ ලියා පල කිරීමයි. ඒ නිසා හොද අවබෝධයකින් හා අධ්‍යයනයකින් එය සිදුකල විට ඔබ කියන යතාර්ථවාදි සෞන්දර්යාත්මක නිර්මාණ බිහිකල හැකිය.

කවියට යොමුවීම සහ කවියෙක් ලෙස ගොඩ නැගීම පිළිබද කතා කළොත්

ඇත්තෙන්ම කවියට යොමු වීමේදි මුලින්ම කලේ ඒ පිළිබඳ හැදෑරීමයි.මුල් කාලය තුල නිර්මාණ කරන විට කවිය පිළිබඳ හොදින් අධ්‍යයනය කලා. භාෂාව මෙන්ම සෞන්දර්යාත්මක කවිය ගොඩනැගිය යුතු ආකාරය , එහිදී විශේෂයෙන්ම ප්‍රවීනයන්ගෙන් ලැබුණු උපදෙස් ලිවීමට ප්‍රථමව කියවීමට මුල් තැන දිය යුතු බවයි. එ නිසා මුලින්ම කලේ කාව්‍ය කෘති, ඒ පිළිබඳ ලියැවුනු විචාරාත්මක කෘති පරිශීලනය කිරීමයි. ඒ තුලින් ගොඩ නැගුණු කවි තුලින් මම හිතනවා යම්තාක් දුරට හොද නිර්මාණ බිහිකලා කියලා. තවමත් කවිය නැමැති විසල් සාගරයේ දෙපා පමණක් තෙමුණු අවධියකයි මා පසුවන්නේ. ඉතිං මේ පසුබිමත් එක්ක තව කවිය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කරමින් කවි මාවතේ ඉදිරියටම යනවා. කවියෙක් ලෙස නිතරම සමාජයට යම් කිසි ගුණාත්මක හා සෞන්දර්යාත්මක පනිවුඩයක් දීම මාගේ මුඛය පරමාර්තයයි.

මේ කුළුදුල් ඔබගේ කවි කෘතියයි. ඉතිං මේ මහා පරිශ්‍රමය යට කතාව කුමක්ද ?

ඔව් කොළඹින් බැහැර අගලවත්ත වැනි ග්‍රාමීය ප්‍රදේශයකට 2013 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලබාගෙන මා රැකියාව සදහා යනවා. ඒ කාලෙදි නිතර මම කාව්‍ය , නවකතා, පරිවර්තන, පොත් කියවන්න පුරුදු වුනා. හරියටම 2015 අග හරියෙදි පමණ කම්මැලි කම මකා ගැනීම පිනිස බෝඩිමට වී කොලවල අකුරු කුරුටු ගෑවා. නිකමට පොඩි පද කිහිපයක් ගලප ගත්තා. මුහුණු පොත හරහා ඒවා අගය කිරීමත් සමඟ මේ කේෂ්ත්‍රයට මහත් ආශාවක් හා උද්යෝගයක් ඇතිවුනා. ඉන් පසු කවිය පිලිබද හොද සොයා බැලීමක් කලා. මුලින් කවි පොත් කියෙව්වට අධ්‍යයනයකින් යුතුව කියවීමට පුරුදු වුයේ ඉන් පසුවයි. ප්‍රවීන කාව්‍ය හා ගීපද රචකයන්ගේ දේශනවලට සවන් දුන්නා. පොත් එලිදැක්වීම්වලට සහභාගි වෙමින් එයින් යම් අත්දැකීම් සම්බාරයක් ලබා ගත්තා. කවියක් කවියක් ලෙස ගොඩ නගාගන්න ගොඩක් කැපකිරීම් කලා. එහි ප්‍රතිපලයක් ලෙස හොද නිර්මාණ බිහිවුනා. ඔය අතර 2017 ගොඩගේ ප්‍රකාශකයින්ගේ කාව්‍ය අත්පිටපත් තරගෙට කවි ටිකක් අමුනලා මාත් ඉදිරිපත් කලා. හිතාගන්න බැරිවුනා දවසක් ගොඩගේ ආයතනයෙන් කතා කොට මාගේ අත්පිටපත හොදම කවි පොත් දහය අතරට තේ⁣රිපත් වූ බව දැනුම් දුන්නා. ඉන් පසු මේ කෙරෙහි තවතවත් උනන්දුවෙන් කටයුතු කලා. කොහොම හරි මා ඉදිරිපත් කළ පලමු නිර්මාණ එකතුව කවි පොතක් වීම අදත් හීනයක් වගේ

 එළිදැක්වීම සම්බන්ධයෙන් සදහන් කළොත්

09.2018 මාර්තු මස 24 වෙනි සෙනසුරාදා ඒ කියන්නෙ හෙට නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ සවස 3 පැවැත්වේ . එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සී/ස. ඇස් ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ ගරු දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා සහබාගි වේ.ප්‍රවීන ගේය පද රචක ගෞරවනීය පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපානන් ඇතුළු මහා සංඝරත්නයේ සහාබාගිත්වයෙන් මෙය සිදුවෙනවා.ඒ වගේම මෙම කෘතිය පෙරවදනින් හැඩකල මීගහතැන්න විද්‍යාරාම විද්‍යායතනයේ සිංහල සාහිත්‍ය ආචාර්ය , ප්‍රවීණ සාහිත්‍ය දේශක ,ගීපද රචක තිලක් පුෂ්පකුමාර ගුරුපියානන් එක් දේශනයක් සිදුකරනු ලැබේ. පසුවදනින් මගේ කෘතිය හැඩ කළ සම්මාන ලාබි නවකතා හා කාව්‍ය රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියානන් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. බොහොමත් සරලව මෙම වැඩසටහන පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා. ඉතිං මගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයේ ගුණදොස් දැනගැනීමට මා ආසාවෙන් බලා ඉනනවා.

සංවාද සටහන – තුසිත පතිරණ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here