FB වාරණය සහ යහ පාලනය උභතෝකෝටිකය ඉදිරියේ ආණ්ඩුවේ හෙළුව

0
148

2018 මාර්තු 4 දා  මතු වූ තෙල්දෙණියේ නොසන්සුන් තත්වය අවධානය ට ගනිමින් සහ ඊට බලපෑ බව කියන ජාතිවාදී වෛරීසහගත අදහස් තව දුරටත් පැතිර යෑම පාලනය කිරීම සඳහා යැයි කියමින්, මාර්තු 7 දා, fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කීපයකට ආණ්ඩුව පැන වූ වාරණය, එකී නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය වී තිබියදීත් මෙතෙක් ඉවත් කර නොමැත. 

මෙවැනි සමාජ මාධ්‍ය වාරණයකට සම්බන්ධ ප්‍රකාශයක්, තෙල්දෙණියේ සිදුවීම් වලට පෙර, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන්, ජිනිවා හී පැවැත්වෙන එහි 37 වැනි සැසියට ඉදිරිපත් කර තිබීම ද, මෙහි දී බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු බව අපේ යෝජනාව යි.

​තෙල්දෙණිය ට අදාළ සිදුවීම් දාමය දෙස පරීක්ෂාකාරීව බලන විට, එසේ සමාජ මාධ්‍ය අවහිර කිරීම, අදාළ නොසන්සුන් තත්වය කළමනාකරණය කර ගැනීම ට ප්‍රබල ලෙස හේතු වූයේ යැයි​ කෙනෙකු ට තර්ක කළ හැකිය. එසේ නම්, ආණ්ඩුව දැන් ඒ අවහිර කිරීම ඉවත් කළ යුතුය. ඒ අතර, ආණ්ඩුවේ විවිධ ප්‍රකාශකයින් කියා සිටින්නේ, වෛරීසහගත අදහස් ඉවත්කිරීමට fb සමාගම් කළමණාකාරීත්වය පියවර ගන්නා තෙක් මෙම වාරණය ඉවත් නොකිරීම ට ආණ්ඩුව තීරණය කර ඇති බව ය. එනම් ආණ්ඩුව, ”සමාජ මාධ්‍ය පෙරහන් කිරීමක්” අපේක්ෂා කරන බව පැහැදිලිය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණ සමයේ දී, එදවස ජනාධිපති පොදු අපේක්ෂකයා වූ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ඒ කඳවුරේ සියලු ප්‍රකාශකයන් සපථ කරමින් කියා සිටියේ සුපිරි මාධ්‍ය නිදහසක් රට ට ලබා දෙන බවය. එසේම, එකී ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත් කළ ”මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්” යන ප්‍රකාශනයේ 11 කොටස වෙන් කර තිබෙන්නේ ද, ”අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්” යනුවෙනි. එහෙත්, ඒකාධිපති රාජපක්ෂ පාලනය ට එදිරිව ගොඩ නැගූ බව කියන යහ පාලන ආණ්ඩුව, පොරොන්දු ප්‍රකාර ” අර්ථවත් හරවත් ජන මාධ්‍ය නිදහස”රට තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීම ට අපොහොසත් වූවා පමණක් නොව, රාජපක්ෂ පාලන කාලය දක්වා වූ සියලු ආණ්ඩු කෙරුවා සේම රාජ්‍ය මාධ්‍යය අවභාවිතය ද උපරිම මට්ටමෙන් සිදු කරගෙන යෑමට වග බලාගෙන තිබේ. ඒ, පුද්ගලික මාධ්‍ය ආයතන සමඟ ද විවිධ ප්‍රකට සහ කුප්‍රකට ගනු දෙනු කරමින්, යෝජිත මාධ්‍ය නිදහස අපයෝජනය කරමින් සිටීම ට අමතරව ය.

සියල්ල එසේ තිබියදී, පසු ගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන්, ආණ්ඩුව කිසි විටෙකත් අපේක්ෂා නොකළ ”ප්‍රබල මහජන විරෝධයක්” ප්‍රකාශයට පත් වන්නේ ඒ අතරය. ආණ්ඩු පෙරළීම, අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාසභංගය, කැබිනට් සංශෝධන, නීතිය සහ සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් ට භාර දීම සහ එය යළි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ට භාර දීමට යෝජනා කිරීම ආදී සිදුවීම් එකම ක්‍රියාදාමයක් බවට පත් වන්නේ ඊට සමගාමීවය.

​තෙල්දෙ​ණිය​යේ සිදුවීම්​ හේතුවක් කර ගනිමින්, ඒ අතර තුර, ආණ්ඩුව මේ සැරසෙන්නේ, එකී දේශපාලන තත්වයන් ද සාකච්ඡාව ට ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිරෙන ආණ්ඩු විරෝධය පාලනය කිරීම ට බව මේ අනුව පැහැදිලි වේ.

එහෙත් ඒ සමඟ ම ආණ්ඩුව ට මුහුණ දීමට සිදුවන බරපතළ ප්‍රශ්න මතු වන්නේ, fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සමඟ බැඳෙන වෙළෙඳ පොළ, ආණ්ඩුවේ මේ හැසිරීම කෙසේ ගණන් බලන්නේදැයි යන තත්වය මතය. එක පැත්තකින් ආණ්ඩුව, ඊනියා ජාත්‍යන්තරයේ උවමනාව මත රටේ රාජ්‍ය ආකෘතිය දිය කර හරිමින්, විදෙස් ආර්ථික ඝාතකයන් සහ දෙස් විදෙස් ජාවාරම්කරුවන් සමඟ සාර්ව ආර්ථික ක්‍රමයක් හෙවත් පුර්ණ ආර්ථික ළිහිල්කරණයක් අනුගමනය කිරීම ට කොන්දේසි විරහිතව සැරසෙමින්, මෙසේ සමාජ මාධ්‍ය අවහිර කර ”රාජ්‍ය සීමා පැවැත්මක්” තහවුරු කර ගැනීම ට උත්සහ කිරීම, ආණ්ඩුව ට මුහුණ දීම ට සිදුවන දේශපාලන උභතෝකොටිකයක් වන්නේය.

රටේ අනාගතය නිවැරදි මගට හරවා ගැනීමට පුළුල් සංවාදයක් ගොඩ නගමින් සිටින අපි, මේ තීරණාත්මක හැරවුම ට ආණ්ඩුව මුහුණ දෙන ආකාරය දෙස විමසිල්ලෙන් බලා සිටින්නෙමු!

http://nidahaslanka.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here