ඡන්දය අරක්කු බෝතලයට වෙනස් වුනා – මාර්තු 12 ව්‍යාපාරයේ මංජුල ගජනායක

0
200

මාර්තු 12 ව්‍යාපාරය මේ රටේ සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් හා යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් කැප වුණා. සංවිධානය ගොඩනඟන්න පාදක වූ කාරණා ඉටු වෙලා තියෙනවා ද?

මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ වුණේ 2015 මාර්තු 12 වැනිදා. ශ්‍රී ලංකාවේ බහුජන ව්‍යාපාර බොහෝමයක් තිබෙනවා. නමුත් ඒවා යම් යම් ක්ෂේත්‍රවලට සීමා වෙලයි තියෙන්නේ. වෘත්තීය සමිති ගත්තොත් වෘත්තීය සමිති ව්‍යාපාරයට විතරක් සීමා වෙලා, ස්වේච්ඡා සංවිධානත් එහෙමයි. ඒත් මාර්තු 12 ව්‍යාපාරයේ විශේෂත්වය තමයි, ශ්‍රී ලංකාවට පිරිසුදු දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමට ඇති වුවමනාව හා ඊට සියලු ක්ෂේත්‍ර සම්බන්ධ කර ගැනීම. මෙතන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තියෙනවා, සිවිල් සමාජ සංවිධාන තිබෙනවා. අපි අපේ පදනම හදාගෙන තිබෙන්නේ ආයතනික වශයෙන් මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන්න.

ඒ නිසා මේ ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්ව සියල්ල ඒකරාශී කරගෙන ප්‍රබල හඬක් නඟන්න මේ ව්‍යාපාරය ආරම්භ කළා. මූලික වශයෙන් සිවිල් සමාජ සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ ව්‍යවසාකයින් මෙන්ම ප්‍රබල ක්‍රියාධරයින් මේකට එකතු වුණා. ඒ වගේම සණස ව්‍යාපාරය, සර්වෝදය ව්‍යාපාරය වගේ බහුජන ව්‍යාපාර එකතු කරලා පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා කැපවීමට මාර්තු 12 ව්‍යාපාරය බිහි වුණා. එදා මේ ප්‍රකාශනය එළි දක්වන විට මේ රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයින් ඊට අත්සන් තැබුවා. ඉන් ප්‍රත්‍යක්ෂ කළේ ඒ දේශපාලන පක්ෂවලින් පිරිසුදු පුද්ගලයින් දේශපාලනයට යොමු කරනවා කියන එකයි.

ජනවාරි අට විප්ලවය කියන්නේ මේ රටේ සමාජ පරිවර්තනයක එක් කඩ ඉමක්. ඒත් අගෝස්තු මහ මැතිවරණයෙන් පරාජිත දේශපාලකයන් පාර්ලිමේන්තුවට ගත්තා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත, මාර්තු 12 ව්‍යාපාරය ඇති වුණේ පුළුල් සංවිධානාත්මක ජාලයකින්. අපි විශ්වාස කරන දෙයක් තමයි අපිට සාධනය කරගන්න හැකි ප්‍රමාණය ඉතා අල්පයි, ඒ වගේම විශාල ප්‍රවාහයක් එක්ක අපි උඩුගම්බලා පිහිනනවා. 1977 ඉදලම මේ රටේ දේශපාලන සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේම ඉතා අවරගණයේ හරසුන් පද්ධතියක් එක්ක. 2015 අගෝස්තු මැතිවරණයේ දී අපිට පුළුවන් කම ලැබුණා යම් ප්‍රමාණයකට අපේක්ෂකත්වය ලබාදීම නවතා දමන්න. එදා අපි කොළඹ හිටපු මන්ත්‍රීවරයකුට එරෙහිව ප්‍රබල හඬක් නැඟුවා. ඒ නිසාම ඔහුට අපේක්ෂකත්වය අහිමි වුණා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් මේ හඬ අවධි කළා. ඔබ කියන එක හරි. අපිට අගෝස්තු මාසයේ මැතිවරණයේ දී ඔය කියපු කාරණය ඉටු කරන්න බැරි වුණා. ඒ තමයි අපේ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාව.

නමුත් අපිට පුළුවන් වුණා වෙනසක් කරන්න, ප්‍රධාන දේශපාලන පක්ෂ එකඟ වුණා පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනඟනවා කියලා. ඒ හින්දා අපිට පුළුවන් හැම වෙලාවෙම ඒ අයට මතක් කරලා දෙන්න. මේ දේ වෙනුවෙන් ප්‍රතිඥා දී තියෙනවා, එය ඉටු කරන්න කියලා ඔවුන්ට බල කරන්න අපිට පුළුවන්. කොහොම නමුත් 2015 ජනවාරි තිබුණ ජනාධිපතිවරණය තමයි මෙතෙක් ලංකා ඉතිහාසයේ තිබුණ රාජ්‍ය දේපළ උපරිමයෙන් අවභාවිතා කළ මැතිවරණය. එවැනි නරක මැතිවරණයක් හරහා ඇවිත් අපි මාර්තු 12 ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ නිසා ආපු ගමන් මඟ ලෙහෙසි පහසු එකක් නෙවෙයි, ඉතා කටුක එකක්.

එදා මේ රටේ මැතිවරණ අන්ත දූෂිත, ප්‍රචණ්ඩත්වය ඉහවහා ගිය එකක් කියලයි බොහෝ දෙනෙක් කිව්වේ. පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණය තමයි ඉතිහාසයේ සාමකාමී මැතිවරණය. ඒත් ඊට පස්සේ රටේ දේශපාලනය අස්ථාවර වුණා නේද?

මූලික වශයෙන් අපි කියන්න ඕන, නව මැතිවරණ ක්‍රමය ගෙනාවට පස්සේ පරිවර්තනයක් සිදු වුණා. ඔබ කියූ ආකාරයට සමාජ, දේශපාලන සංස්කෘතිය ගත්තාම මෙවර තමයි අපි සාමකාමී ම මැතිවරණයක් තිබ්බේ. එපමණක් නෙවෙයි අපේක්ෂකයන් සියලු දෙනාටම නිදහසේ සම බිමක තරග කරන්න ලැබුණු පළමු අවස්ථාවත් මේක. ඒ නිසා මේ ආණ්ඩුව සියඹලා ගෙනාවේ නෑ කියලා අපිට කියන්න බෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම මේ නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කරන්න කැප වෙලා තියෙනවා.

ඒ නිසා ඔවුන්ට අපි ස්තූතිවන්ත වෙනවා. නමුත් මාර්තු 12 ව්‍යාපාරය විදිහට අපි කණගාටු වෙනවා වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ. අපේ පැහැදිලි ස්ථාවරය තමයි මේ මැතිවරණ ප්‍රාදේශීය පළාත් පාලනය සම්බන්ධයෙන් පැවැත්වූවක් බව. මෙය ජාතික දේශපාලනය ඇදා ගනිමින්, ජාතික දේශපාලනයේ විසංවාදයන් ලිහා ගන්නට හේතුපාදක නොකරගත යුතු මැතිවරණයක්. නමුත් අපි දන්නවා බිම් මට්ටමේ ප්‍රායෝගික දේශපාලනය වෙනස්, ඒ නිසා තමයි මේ වියවුල ඇත්තටම ඇති වෙලා තියෙන්නේ.

පවතින රජය ගත් සාධනීය පියවර රැසක් ඇති බවත් ඊට අනුව මෙවර මැතිවරණයේ දී 25%ක කාන්තා නියෝජනයක් ඇතුළත් කරන්න පුළුවන් වුණ බවත් බොහෝ දෙනෙක් පෙන්නලා දුන්නා. ඒත් අද කාන්තා නියෝජනය ගැටලුවක් වෙලා නේද?

දැන් පළාත් පාලන ප්‍රතිඵලය දිහා බැලුවාම පේන දෙයක් තමයි, ඉතාම හොඳ කඩඉමක් පසු කළා කියන එක. එහෙම කියන්නේ, යම් දේශපාලනඥයෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයකින් හෝ මැතිවරණ වේදිකාවකදී පොරොන්දුවක් දුන්නොත්, එය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනතාව උත්තර ලබා දෙන්නෙ කොහොම කියලා දැන් බලන්න පුළුවන්. එදා යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු කීපයක් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට අගතියක් වෙන ආකාරයට කටයුතු කළ දේශපාලනඥයන්ට දඬුවම් දෙනවා කිව්වා. ඒ දේ අතපසු වෙලා තියෙනවා.

කාන්තා නියෝජනය ගැන කතා කරනකොට පේන්න තියෙන්නේ බෙලි ගෙඩිය වැටුණම බිය වෙලා දුවපු හාවගෙ කතාව වගේ. දැන් සියලු ජනී ජනයා කාන්තා නියෝජනය විවේචනය කරමින් ඉන්නවා, මේ තමයි නව මැතිවරණ ක්‍රමයේ දුර්විපාක කියලා. අපි ලාංකිකයන් වශයෙන් කැමැත්තක් දක්වනවා ‘දහසක් යහපත් දේ නොසලකා අයහපත් එක දේ‘ වෙනුවෙන් සටන් කරන්න. ඇත්ත තත්ත්වය තමයි කාන්තා නියෝජනය ඓතිහාසික අවස්ථාවක්.

ඒක එජාපය ඇතුළු අනෙකුත් පක්ෂවලට ඉතාමත් සතුටු විය හැකි කාරණයක්. මේ කාන්තා නියෝජනය එන්නේ දශක තුනක අරගලයක ප්‍රතිඵලයක් විදිහට. මාර්තු 12 ව්‍යාපාරය විදිහට අපි එක දෙයක් පිළිගන්නවා, 25%ක නියෝජනයක් කාන්තාවන්ට ලැබුණත්, දේශපාලන පක්ෂවල ඊට අදාළ පසුබිමක් නිර්මාණය වුණේ නෑ. උදාහරණයක් විදිහට දේශපාලන මණ්ඩලවල කාන්තාවෝ නෑ, ක්‍රියාකාරී දේශපාලනයේ කාන්තාවෝ නෑ. මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා කළේ කාන්තාවෝ නෙවෙයි පිරිමි. නමුත් අපේ බලාපොරොත්තුව තමයි තවත් වසර 4කින් මේ තත්ත්වය වෙනස් වෙයි කියන එක.

අපි මුල ඉදලම කිව්වා කොට්ඨාසවලට තරග කරන කාන්තාවෝ පරාජය කරන්න එපා කියලා. ඒත් සැලැසුම් සහගතව පරාජය කළා. එහෙම පරාජය වුණොත් ඒ වන්දිය ගෙවන්න වෙන්නේ අමතර ලැයිස්තුවෙන් දාලා කියලා එදා අපි කිව්වා. අද ඒ තත්ත්වය තමයි මතු වෙලා තියෙන්නේ. අපි කියන අනෙක් කාරණය තමයි දේශපාලන පක්ෂ මේක ප්‍රශ්නයක් කර නොගෙන අභියෝගයක් ලෙස සැලකිය යුතුයි.

එල්ලවෙන තවත් චෝදනාවක් තමයි පරාජිත අපේක්ෂකයෝ මේ මැතිවරණ ක්‍රමය හරහා ලැයිස්තුවෙන් සභාව නියෝජනය කරනවා කියන එක. ඒ ගැන මොනවද කියන්නේ?

ලංකාවට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ ඇයි? අපේ ඉතිහාසයේ කොට්ඨාස ක්‍රමය තිබුණා. එදා ඒ ක්‍රමයෙන් වැඩි ඡන්ද ගත්තු පක්ෂවලට අඩු ධූර ගණනකුත් අඩු ඡන්ද සංඛ්‍යාවක් ගත්ත පක්ෂවලට වැඩි ධූර ගණනකුත් ලැබුණා. ඒ නිසා එතැන ජනතා කැමැත්ත ප්‍රකාශ වීමේ විකෘතියක් තිබුණා. ඒ නිසා තමයි 77න් පස්සේ සමානුපාතික නියෝජනය ක්‍රමයට ආවේ. ඒ ක්‍රමයෙන් ඉන්න ජනාධිපතිතුමාටත්, හිටපු ජනාධිපතිතුමාටත්, ඉන්න අගමැතිතුමාටත් ජනතාව පැහැදිලි ජනවරමක් දුන්නා. ඒ හැමෝම කිව්වා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. එදා සමස්ත ලාංකිකයෝ මනාපත් එක්ක අමනාප වුණා. දැන් ඉන්න පාලකයෝ නව මැතිවරණ ක්‍රමයට ගියා. ඒක තමයි මිශ්‍ර සභික, සමානුපාතික නියෝජන ක්‍රමය. අද ආයෙත් ජනතාව කියනවා මේ ක්‍රමයත් හොඳ නෑ කියලා.

එහෙම කියලා මේක විසිකරලා දානවා ද නැත්නම් මේ ක්‍රමයට සාධනීය ක්‍රම ඇතුළත් කරනවා ද කියලා හිතන්න ඕන. අමතර ලැයිස්තුවක් දීලා තියෙන්නේ ඇයි? ලංකාවේ ජනතාවට තිබුණ ඓතිහාසික ප්‍රශ්නය මොකක් ද? සංඛ්‍යාත්මකව ජන ප්‍රතිශතය අඩු පක්ෂවලට නියෝජනයක් නොමැති වීම තමයි ප්‍රශ්නය. අපි මේ ප්‍රතිඵලය දකින්නේ සර්ව සුබවාදී විදිහටයි. පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ විචිත්‍රවත්ම ප්‍රතිඵලය මේ පාර ඇවිත් තියෙනවා. ඒ තමයි ස්වාධීන කණ්ඩායම් බහුතරයක් තේරී පත්වෙලා ඉන්නවා, සංඛ්‍යාත්මක සුළු පක්ෂවල නියෝජනය වැඩි වෙලා තියෙනවා. අපිට එදා තිබුණ දුක් ගැනවිල්ලක් අද අහිමි වෙලා තියෙන්නේ. ඇයි ඒක දකින්න අපිට බැරි. මේක නොලැබුණා නම් දෙගුණ තෙගුණ කරලා විවේචනය කරනවා. ඒක තමයි සමානුපාතික ලැයිස්තුවේ තිබුණ වැදගත්ම කාරණය. අද අමතර ලැයිස්තුව නිසා ශක්තිමත් විපක්ෂයක් තියෙනවා. ඒ නිසා අපිට අමතර ලැයිස්තුව ඉවසන්න පුළුවන් වෙන්න ඕන.

පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වය දුන් පක්ෂය ජයග්‍රහණය කළා. ඒ වුණාට ජනතාව පක්ෂයෙන් ඉදිරිපත් වුණ අපේක්ෂකයෝ කවුද කියලා බැලුවේ නෑ කියලා ඇතැමුන් චෝදනා කරනවා?

මූලික වශයෙන් බැලුවොත් අපි මාර්තු 12 ව්‍යාපාරය විදිහට වැඩමුළු සම්මන්ත්‍රණ රැසක් පැවැත්වුවා. ඒ වගේම සමස්ත රට වැසියාගෙන් අපි ඉල්ලුවා පක්ෂ බේදයකින් තොරව දූෂිත පුද්ගලයෝ පරාජය කරන්න කියලා. අපේ ව්‍යාපාරය අසාර්ථකයි කියන්න බෑ, මොකද අපි යම් ආකාරයකින් දූෂිත පුද්ගලයෝ ඉදිරිපත් වෙන එක වළක්වලා තියෙනවා. සමහර පක්ෂවලින් ඉදිරිපත් කරලා තිබුණ අපේක්ෂකයන් සමාජ අපවාදයට ලක් වෙලා, නඩුකර පවා තිබුණ අය. මේ කාරණය එක පක්ෂයකට සීමා වෙලා නෑ. අපි කවර මැතිවරණ ක්‍රමයක්, දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දුන්නත් පුරවැසියන්ගේ සහයක් නැතිව කිසි දෙයක් කරන්න බෑ.

ශ්‍රී ලංකාවේ පුරවැසියෝ දේශපාලනිකව සවිඥානික නෑ. මම එහෙම කියන්නේ මේ මැතිවරණ ක්‍රමයට එන විවේචනත් එක්කයි. විවේචන විතරයි තියෙන්නේ ඒත් ඔවුන්ගේ සක්‍රීය දායකත්වයක් නෑ. මැතිවරණයකදී දූෂිත පුද්ගලයන් තේරී පත්වෙන එක අපේ රටට පමණක් පොදු වූ ලක්ෂණයක් නෙවෙයි. සමස්ත දකුණු ආසියාවම වෙලා ගත්ත ප්‍රවණතාවයක්. තාමත් අපට ප්‍රදර්ශනකාමී, ආකර්ශනයක් ඇති දේශපාලනඥයින්ගෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ ජනතාවට අදිසි ආකර්ශනයක් තියෙන පුද්ගලයෝ ප්‍රතික්ෂේප කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ තත්ත්වය නැති කරන්න අපිට විශාල ව්‍යාපාරයක් කරන්න වෙනවා.

පැවැති පළාත් පාලන මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පක්ෂය අද ආණ්ඩුව විසුරුවන්න කියලා බලපෑම් කරමින් ඉන්නවා. ඒත් ඔවුන් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය ජනවාරි 8ට වඩා අඩුයි. තවමත් ආණ්ඩුවට වැඩි ජනවරමක් තියෙනවා කියලා ආණ්ඩු පක්ෂය පෙන්නලා දෙනවා නේද?

අපිට නම් පේන්නෙ දේශපාලන සුරංගනා කතා වලින්, ඡන්ද දායකයින් රවට්ටන්න පුළුවන්, මන්මත් කරන්න පුළුවන් දේශපාලකයන් ඉදිරියට ආවම නීතියත් අසරණ වෙනවා කියන එකයි. අපිට වර්තමානයේ ඒක හොඳටම පේනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ අනිවාර්යෙන් මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කරගත යුතුයි. මේ මැතිවරණය ඉතාම සාමකාමීයි, සාධාරණයි. ඒත් මැතිවරණය දවසේ පවා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල රුපියල් දහසකින් සහ මත්පැන් බෝතලයකින් මේ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වුණා.

අපි නිදහස් හා සාධාරණ සාමකාමි මැතිවරණයක් කිව්වට, ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දීම හා සංග්‍රහ ලබා දීම් උච්චතම තැනට ආපු මැතිවරණයක් තමයි මේක. එහෙමනම් අපි මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමේ නීතියක්, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියක් හඳුන්වා දිය යුතුයි. මෙන්න මේ කාරණය කරන්න දේශපාලකයෝ උනන්දු වුණොත් සහ ඡන්ද දායකයෝ උනන්දු වුණොත් මේවා නිවැරැදි කරගන්න පුළුවන්.

අද උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට එන්නෙ නෑ. ඒක අපේ රටේ සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ප්‍රශ්නයක්. ඒ වගේම එවැනි පුද්ගලයෝ ආවොත් වැඩි කාලයක් රැදෙන්නෙ නෑ. මොකක් ද ප්‍රශ්නය?

මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයා ඉන්න ඕන හැම වෙලාවෙම ජනතාවට පිටු පස්සෙන් නෙවෙයි ඉස්සරහින්. ලංකාවේ තියෙන ලොකුම ගැටලුව මේක තමයි. රට වැසියාට මඟ පෙන්වීමට හැකියාවක් තියෙන බුද්ධිමතුන්, වියතුන් අද දේශපාලනයේ නෑ. ඔබ කියන ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ගොඩනඟා ගන්න නම් ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් අතර අභිලාෂයක් ඇති කරගන්න ඕන. මට පේන්නෙ නෑ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ ඒ වෙනුවෙන් උත්සාහයක් ගන්නවා කියලා. මාර්තු 12 ප්‍රකාශනයට ඔවුන් පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් අත්සන් කළත්, අපි දන්නවා බිම් මට්ටමේ සිදු වුණේ මොකක් ද කියලා. අද තේරිලා ඉන්න සභිකයන්ට එක මාසයකට ආණ්ඩුව ලක්ෂ 1900ක් වැය කරන්න ඕන.

මේ මුදල වැය කළත් ඔය සභිකයන්ගේ කාර්යක්ෂමතාවය පරිසාධක මට්ටමේ තියෙයි ද කියන සැකය අපිට තියෙනවා. හේතුව තමයි පළාත් පාලන ආයතන තුළ කිසියම් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව යම් යම් කොන්ත්‍රාත්තු කරන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුළම අපට පේනවා අභ්‍යන්තරයෙන් දේශපාලන ඇබිත්තයන්ට වංගු ගහන්න හදපු එකක් කියලා. ඒ නිසා අපි මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ හෝ වත්කම් බැරකම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරලා ආදර්ශයක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතන්නේ දේශපාලන නායකයෝ ජනතාවට පිටු පස්සෙන් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකලාප ගැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. එතෙක් යහපත් හා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ගොඩනඟා ගැනීම ගැටලුවක්.

 

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here