ප්‍රේමයේ රික්තකය _________.. The Lover වේදිකා නාට්‍ය ඇසුරෙන් – තරුෂි නවංජනා

0
160

ප්‍රේමය, රාගය, ආදරය, සෙනෙහස ඈ නා නා පදරුත් හා නිර්වචන සපයන මානව හැඟීම් මෙසේ භාවිත විය යුතු යැයි අපට කිව නොහැකි නමුත් සමාජ ගැටලු ඇතිවන තත්වයන්ගෙන් මිදී යහපත් හැසිරීමකින් සමන්විත වීම සන්තුෂ්ටියට හේතු සපයන්නකි. චරිත ත්‍රිත්වයකින් යුත් The Lover වේදිකා නාට්‍ය සමාජයේ බොහෝවිට සිදුවන සිදුවීමක් අපූර්ව ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීමකි.

නූතන සමාජ සංකීර්ණත්වය නිසා පැන නගින සිනහව, කඳුළු හා ආතතීන් අතරින් ගලායන ජීවිත හැරල්ඩ් පින්ටර් ගේ The lover වේදිකා නාට්‍යය තුළ වේ. තිළිණි රුවන්දිකා විසින් මෙම නාට්‍යයේ සිංහල පරිවර්තනය අධ්‍යක්ෂණය කොට ඇත.

පුහුදුන් මානවයා තුළ පවත්නා ආශාවන් අසීමිතය. ලිංගිකත්වය යන භාවිතාව තුළ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයත් විවිධය. සේරා ඇගේ සැමියා(රිචඩ්) රැකියාවට පිටව ගිය පසු වෙනත් තරුණයෙක්(මැක්ස්) නිවසට ගෙන්වා ගන්නේ තම සැමියාගේද අනුදැනුම මතයි. සැමියා වන රිචඩ් ද බිරිඳට අමතරව තවත් කාන්තාවක් ඇසුරු කරනා බව මෙහි කියවෙයි. තම සැමියා වන රිචඩ් සමඟ බොල දක්වා සළු ඇඳි සදාචාර සම්පන්න ගැහැනියකගේ ප්‍රතිබිම්භය ප්‍රතීයමාන කරන සේරා තම අනියම් පෙම්වතා සමඟ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයක් රඟ දාක්වයි. තම සැමියා නිවසින් පිටව ගිය පසු දිග ගවුම ගලවා විසි කරන ඇය බටහිර පන්නයේ ඉතා කෙටි කලිසමකින් සැරසෙයි.

කතාවේ මුල් භාගයේම රැකියාව නිමවී නිවසට පැමිණෙන රිචඩ්ට තම බිරිඳගේ උස් අඩි පාවහන්  ප්‍රශ්නයක් වෙයි. ඇය කිසිවක් නොකියා එම පාවහන් ඉවත් කරන්නේ සමාව භජනයකිරීමක් ද සමඟයි. ඔහු නිවසේ බිරිය සදාචාරසම්පන්නව සිටිය යුතු යැයි සිතන අතර ඔහු ඇයට නිවසින් පිටතදී තබා ගන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසයි. විටෙක රිචඩ් පවසන්නෙ තම අතේ එල්ලී යන සුකොමල බිරිය ඔහුට ආඩම්භරයක් බවයි. නමුත් රිචඩ් සහ සේරා නිදි යහනේ දෙපැත්තට හැරී නිදාගනියි.. බිරිඳ ඉටුකළ යුතු වගකීම් පිළිබඳව රිචඩ් අවධාරණය කරයි. තමා රැකියාව නිමවී නිවසට පැමිණෙන විට ආහාර සූදානම් කිරීම බිරිඳකගේ වගකීමක් බව රිචඩ් විටෙක සඳහන් කරයි.

සේරා ඉතා කාමුක ආකාරයෙන් තම ආශා සන්සිඳුවාගැනීම සිදුකරන්නේ අනියම් පෙම්වතා සමඟිනි. මන්ද ඔහු සැමදාම දකින කුකුළාගේ කරමලේ හැඟීම සේරා තුළ ඇති නොකරන බැවිනි.

The Lover නාට්‍ය තුළ හුදු ප්‍රේක්ෂිකාවක් ලෙස මම දකින සමස්තය මෙසේය. සමාජ ගැටලුවක් බවට පත්වෙන අවස්ථාව දක්වා ගමන් ගන්නේද මෙයයි. කුමක්ද? පිරිමියා විසින් හුදු සදාචාර ගැහැනියක් නිවස තුළින් බලාපොරොත්තු වේ. ගැහැණිය තම ආශාවන් සිර කොට ගෙන සිටින්නීය. ඇයට කළ යුතුව ඇත්තේ වගකීම් ඉටුකිරීමයි. නමුත් The lover හි සේරා තම සැමියාගෙන් ලබන නිදහස තුළ ඇගේ ආශාවන් සන්තෘප්ත කරගන්නේ අනියම් පෙම්වතාගෙනි. අවසන පිරිමින් දෙදෙනාගෙන්ම “වේසිය” ලෙස ආමන්ත්‍රණයට ලක් වූයේ ගැහැණියයි.. ලක්වන්නේද ගැහැණියයි.

රිචඩ් කාමුක ගැහැණියකගේ ඇසුර නිවසට පිටින් සොයයි. සේරා කාමුක මිනිසාගේ ඇසුර තම සැමියාට පරිබාහිරව ලබයි. රික්තකයක් සෑදීම හා එම රික්තකය පූරණය කිරීම මෙහිදී සිදුවී ඇත. නමුත් මෙම නාට්‍ය මඟින් ඉඟි කරනුයේ එකම සැමියෙක් හා එකම පුරුෂයෙක් තුළ මේ සියල්ල පවතින බව නොවේද? ගැටලුව සැකසෙන්නේ සංස්කෘතික සදාචාරසම්පන්න මිනිස් සන්තානය යම් යම් සීමාවන්ට කොටු වීමට යෑම නිසාය. අවසන සාදාචාරය රෙද්ද පල්ලෙන් බේරෙන යුරු පෙන්වන්නේ ලෝකයාට අඹු සැමියන් සේ සිටින ඔවුන් අනාචාරයේ යෙදීම තුලිනි.

සේරාගේ අනියම් පෙම්වතා වන මැක්ස් විටෙක කැළඹුනු සිතින් රිචඩ් පිලිබඳව සේරාගෙන් ප්‍රශ්න කරයි. සේරා හා මැක්ස් මේ වන විට සිදුකරමින් පවතින කාර්ය ( මෙවුන්දම්හි යෙදීම) මැනවින් දැනගෙනත් පිරිමියෙකු ලෙස ඔහු ඉවසන්නේ කෙසේද සහ ඉවසන්නේ ඇයිද යන්න මැක්ස්ට ප්‍රශ්නයක් වෙයි. තවත් විටක තම බිරිඳට පිටුපා වෙනත් කතක් ඇසුරු කිරීම ඔහුගේ හෘදසාක්ෂියට ප්‍රශ්නයක් වෙයි. අවසානයේ ය ඔහුගේ සැබෑ ප්‍රශ්නය මතුවන්නේ. ඈ ක්‍රමයෙන් වියපත් වීමත් සමඟ ඇගේ ශරීරය කෙට්ටු වීම ඔහුට ප්‍රශ්නයකි. ඔහු කැමතිව ඇත්තේ මහත පිරිපුන් ගැහැණුන්ටය. පිරිමියාගේ ආශාව සංතෘප්ත කරගත නොහැකි වූ තැන ගැහැණිය තවදුරටත් රැකවරණය හෝ ආදරය නොලැබෙයි. මැක්ස් සේරාගෙන් ඉවත් වන බව ඇඟවීමත්, ඉන් පසු නිවසට පැමිණෙන ඇගේ සැමියා වන රිචඩ් ඇගෙන් ඉවත් විය යුතු බවක් ඇඟවීමත් තුළ ඇයට රැකවරණය පිළිබඳ භීතිය ඇතිවෙයි. සේරා නැවතත් බිරිඳගේ වගකීම් දෙසට හැරී කලින් පිළියෙල නොකළා යැයි කියූ රාත්‍රී ආහාරය ගෙන ඒමට ගිය එම අවස්ථාව මනමේ කුමරිය වැදි රජු හා විසීමට කැමති වීම වැනියැයි මට සිතෙයි.

The Lover නාට්‍ය තුළ රිචඩ්ට හා මැක්ස්ට පණ පොවන්නේ එකම පුද්ගලයා ය. නාට්‍යයේ අරුතද එයයි. එකම පුද්ගලයෙකුට පිරවිය හැකි රික්තකයක් වෙනත් කෙනෙකු ලවා පිරවීමට ගොස් සමාජය ගැටලුවකට මුහුණ දෙයි. එම රික්තකය නිවසින්ම හමුවෙයි. වේසි යනුවෙන් රිචඩ් අවසානයේ තම බිරිඳ වන සේරාට පවසන්නේ එම රික්තකය පිරවූ අවස්ථාවේදීය.

– තරුෂි නවංජනා ලියනාච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here