ආගම නැති තැන සුචරිතය වැඩෙන්නෙ නැහැ – බෙල්ලන්විල විමලරතන හිමි ( අවසන් සාකච්ඡාව )

0
241

ස්වාමීන් වහන්ස, මෙලොව වාසය කරන සත්වයන් අතර මිනිසා සුවිශේෂී වෙනවා. ඒ කුමක් නිසාද?

මේ ලෝකෙ ජීවත්වන සත්ව කොට්ඨාශ කීපයක් සිටිනවා. සමහර සත්වයන්ට පෙනීම, ඇසීම ඇවිදීම, කතා කිරීම, හා සිතීම උරුම වී නැහැ. තවත් කොටසක් ඉන්නව ඇසෙනව, පෙනෙනව. ඒත් කතා කරන්න සිතන්න, ඇවිදින්න බැහැ. තවත් සත්ව කොට්ඨාසයක් ඉන්නවා පෙනීම, ඇසීම, ඇවිදීමට පුළුවන් කතා කරන්න, සිතන්න බැහැ. මේ සියලු දේ ම ක්‍රියාත්මක සර්ව සම්පූර්ණ සත්ව කොට්ඨාසයක් ඉන්නව නම් ඒ තමයි මිනිසා. සියලු සතුන් අතර මිනිසකු වී ඉපදීමේ වාසනාව ලැබෙන්නෙ බොහොම කලාතුරකින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මිනිසාගේ තවත් සුවිශේෂී තත්ත්වයක් වෙන්නෙ පින්, කුසල් කළ හැකි වීමයි. මෙතෙක් ලොව පහළ වූ සියලු බුදු පසේ බුදු, මහ රහත් සියලු දෙනාම හා විද්වත් සැවොම අයත් වෙන්නෙ මිනිස් වර්ගයාටයි. මෙයින් පැහැදිලි වෙනවා මිනිසා සතු උසස් මානසිකත්වය. අද ලොව විද්‍යාත්මකව දියුණු වී තිබෙනවා. මේවා මිනිස් මනසේ විශිෂ්ඨත්වයයි. අන් සත්වයන්ට වඩා මිනිසා සුවිශේෂී වෙන්න ඇයි කියලා මේවායින් පැහැදිලි වෙනව.

උසස් මනසින් යුතු මිනිසා සතු විය යුතු ගුණාංග මොනවාද?

හොඳ – නරක දෙක වෙන් වෙන්ව හඳුනාගැනීමේ බුද්ධිය මිනිසාට තිබෙනවා. ඒ නිසාම ඔවුන් යහපත් දේම පමණක් ක්‍රියාත්මක කරන්න පුරුදු වෙන්න ඕන. කළගුණ සැලකීම හා යුතුකම් ඉටු කිරීම මිනිසකු සතු ප්‍රධාන ගුණාංගයක් බව බුදු රජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දී තිබෙනවා.

කෙනෙකු මෙලොවට බිහිකර හැදූ වැඩූ මව්පියන් ගේ සිට සිප් සතර කියා දුන් ගුරු භවතුන් සහ දිවි මඟ සාරවත් කර ගන්න විවිධ ආකාරයෙන් දායක වූ සැමට කෘතගුණ සැලකීම හා ගරු කිරීම මිනිසකු තුළ තිබෙන උතුම් ලක්ෂණයක්. ඒ වගේම ගුණ ගරුක වීමෙන් පමණක් නොනැවතී යහපත් සමාජයක් බිහි කිරීමට දායක වීම යහපත් මිනිසකුගේ යුතුකමක් හා වගකීමක්.

මිනිසුන් ඔය කියන යහපත් සමාජය ගොඩ නඟන්න ක්‍රියාත්මක වෙනවද?

තමන් යහපත්ව හිඳිමින් යහපත් පරිසරයක් ගොඩ නඟන්න උත්සාහ කරන මිනිසුන් නැතුවාම නොවෙයි. එවැනි උසස් පුද්ගලයන් ඒ කටයුත්තට දැඩි වෙහෙසක් ගන්නවා. ඒත් අවාසනාවට වගේ ඔවුන්ගේ උත්සාහයට සමාජයේ තිබෙන ඉඩ සීමිතයි. ඔවුන්ගේ ආකල්ප විකාශය වීමට නොහැකිවන තරමට අයහපත් සිතුවිලිවලින් පිරුණ පුද්ගලයන් වැඩි වෙලා. බොරුව, වංචාව, ඊර්ෂ්‍යාව, පළිගැනීම වැඩිවෙලා. හොඳින් හෝ නරකින් එකිනෙකා අභිබවා යාම සිදුවෙලා. මේ හේතුවෙන් මිනිසුන් තුළ තිබිය යුතු ගුණ දහම් පිරිහෙනවා. ගුණ දහම් පිරිහුණ සමාජයක දුසිරිතය මිස සුචරිතය වර්ධනය වෙන්නෙ නැහැ.

සුචරිතව මිනිසුන් බිහි නොවන තරමට වැරදුණු තැන කොතනද?

ඒකට ප්‍රධානම දේ තමයි තණ්හාව අන් සියල්ල අභිබවා ඉස්මතු වීම. අතීතයේ මිනිසුන් තුළ තණ්හාව නොතිබුණා නොවෙයි. ඒත් ඊට වඩා අද තණ්හාව මිනිසුන්ගේ මනස විකෘති කරල. අද විද්‍යුත්, ප්‍රකාශන මාධ්‍යවලින් ප්‍රචාරය වන තොරතුරු බැලුවම බොහොමයක් සිදු වෙන්නෙ අපරාධ. කවුද මේවට වගකියන්න ඕන? මිනිසුන්ම නේද? අද අපි දියුණු වෙලා කිව්වට කොතනද අපි දියුණු වෙලා තියෙන්නේ..? මිනිසුන් විනාශ කරන්න මිනිසාම උත්සාහ කරනව නම්, මිනිසකුගේ වටිනාකම නොතේරෙන තරමට මිනිසා පහත් තත්ත්වයකට පත් වෙලා නම් කොහොමද මිනිසා දියුණුවෙලා තියෙන්නෙ. අතීතයේ මිනිසුන් ආගම දහමට ගරු කළා. ගුරු – දෙගුරුන්ට,වැඩිහිටියන්ට, පූජ්‍ය පක්ෂයට ගරු කළා. ඔවුන්ට අවනත වුණා. පවට බය වුණා. කර්මය හා කර්ම විපාක ඉහළින්ම පිළිගත්තා. නිතර ගමේ පන්සල ඇසුරු කළා. සෑම නිවසකම දරුවන් දහම් අධ්‍යාපනය ලබන්න පන්සලට ගියා. ආගම දහමෙන් ඈත්වන තරමට සුචරිතය මිනිසා තුළින් ඈත් වෙනවා.

මේ තත්ත්වය සමාජයට බලපාන්නේ කොහොමද ?

ගුණවත් මිනිසුන් බිහි නොවීම නිසා සමාජයේ ඇතිවන්නේ මහා ඛේදනීය තත්ත්වයක්. රටක් වශයෙන් ගත්තම ලංකාවේ අතීත මිනිසා තුළ එකිනෙකා කෙරෙහි හොඳ සංහිඳියාවක් තිබුණා. ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් විවිධ කොටස් අප රටේ ජීවත් වුණා. ඒත් බොහොම සමගියෙන් ජීවත් වුණා. එදා ලංකාව පරදේශ ආක්‍රමණිකයන්ගෙන් මුදා ගන්නඒ සියලු ජාතීන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලාංකීය පිරිසක් වශයෙන් කටයුතු කළ බව ඉතිහාසය සාක්ෂි දරනවා. ඒත් අද තත්ත්වය වෙනස් ජාති, ආගම්, කුල, දුප්පත්, පොහොසත් වශයෙන් වර්ගීකරණය කරන්න පුරුදුවෙලා. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව මේ සියල්ල සැලකුවේ මිනිස් වර්ගයා වශයෙනුයි. කෙනෙකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වෙන්නෙ නැහැ. ඔවුන් උසස් ද පහත් ද කියල වර්ග කරන්න පුළුවන් ක්‍රියාවෙන් බවයි උන්වහන්සේ වදාළේ.

ඒ නිසා ජාති, ආගම්, කුල භේද වපුරමින් ඇති හැකි අය නැති බැරි අය පාගමින් ගමන් කරන මාර්ගය මොකක්ද? මේ ගමනේ අවසානය කොතනද? මේ ආකාරයට දකින්න ලැබෙන්නෙ විනාශය පමණයි. සත්ව ලෝකෙ ශක්තිවන්තයා දුබලයා මරාදමනවා. ඒ උන් තිරිසනුන් නිසා. දැන් මිනිස් ලෝකයත් ඒ තත්ත්වයට පත්වෙන්න උත්සාහ ගන්නවා. එහෙම වුණොත් මිනිසුන් හා තිරිසනුන් කියා වර්ග දෙකක් නැති වේවි. එතකොට උසස් මනසක් තිබෙන මිනිසාගේ තත්ත්වයට මොනව වේවිද?

ඔබ වහන්සේ පවසන පරිදි මිනිසා මේ තැන් කරන්නේ තමන්ගේ බලය තහවුරු කිරීමට නේද?

කරන කියන දේ වලින් අවබෝධ වෙන්නෙ ඒක නේද? බලපුළුවන්කාරකම කියන්නෙ කාටවත් හිංසාවක් නොකර හැකි පමණින් අන් අයටත් උපකාර කරමින් ආදර්ශවත් ජීවන රටාවක් ගත කරන එකයි. මිනිසුන් වෙතින් මිනිස්කම ඈත්වීම නිසා අපට ඉතා අඳුරු අතීතයක් තිබුණා. ඒකෙ ප්‍රතිවිපාක අපි තවමත් විඳිනවා. අද පාසල් යන දරුවගෙ ඉඳල වැඩිහිටියා දක්වාම හදවත් ඊර්ෂ්‍යාවෙන් පිරිලා. සියල්ල අනිත් අයට වඩා තමන්ට තිබිය යුතුයි යන පහත් සංකල්පයට පත්වෙලා. මේ තත්ත්වය අපි විසින්මයි ඇති කරගෙන තියෙන්නෙ. සමාජ තරගකාරීත්වය කියල මානුෂීය ගුණාංග අමත කරලා. යුතුකම් වගකීම්වලින් ඈත්වෙලා. ධන තණ්හාව, බල තණ්හාව නිසා මිනිසුන් මානසික රෝගීන් බවට පත්වෙලා. කොටින්ම මිනිසාගේ ප්‍රධාන සතුරා මිනිසාම බවට පත්වෙලා. මේ සියල්ලේ අවසානය යළි කිසි දිනක මිනිස් ආත්මයක් නොලැබෙන තරමට අකුසල් වර්ධනය වීමයි.

මේ සියල්ල නිවැරදි කරගන්න මිනිසාට හැකියාව තිබෙනව නේද?

මිනිසාට පමණයි වැරදි නිවැරදි කරගෙන යහපත් වෙන්න හැකියාව තිබෙන්නෙ. කුඩා දරුවා අධ්‍යයනය කරන්නේ වැඩිහිටි පිරිසයි. ඔවුන්ගේ වීරයන් බවට පත්කර ගන්නේ වැඩිහිටියන්මයි. ඒ නිසා වැඩිහිටියන් අවධාරණය කර ගන්න ඕන යහපත් බවින් යුක්තව හැසිරෙන්න. එවිට වර්තමාන සමාජ යහපත්බව ඇතිවෙනවා. අනාගත සමාජයේ යහපත්බව ගැන විශ්වාසයක් ඇති වෙනවා. සොබා දහමේ විශිෂ්ට නිර්මාණය මිනිසා වුවත් ඒ නිර්මාණයේ සාර්ථකත්වය හා ඵලය සමාජගත වෙන්නේ නිර්මාණය වූ මිනිසාගේ ගුණාත්මක වූ ආකල්ප මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here