පක්ෂය මොකක් වුනත් “කාන්තාවකට” ඡන්දය දෙන්න (ද ??) – මේනකා ජයසුන්දර

0
94

කාන්තා අපිට කාන්තා පාලකයන් සිටියේ අද ඊයෙක නොවේ. ඈත අතීතයේ ද කාන්තා අප කාන්තා පාලකයන් යටතේ “පාලනය” වී ඇත්තෙමු. තුන් හෙළයටම අධිපතිත්වය දැරූ රාජිනියන්ගේ සිට ලොව ප්‍රථම අගමැතිවරිය සහ ජනාධිපතිවරිය යටතේ ද අපි “පාලනය” වී ඇත්තෙමු. ඊට අමතරව ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ කාන්තා නියෝජිතවරියන්ගෙන්ද අපි “පාලනය” වූයෙමු. තවමත් “පාලනය” වෙමින් සිටිමු. හැබැයි ඔවුන් කාන්තා අප වෙනුවෙන් කල ඉටි ගෙඩියක් නම් නැත.

එය එසේය කියා කාන්තාවන් සදහා වූ අයිතිවාසිකම් අමතක කරන්නට අපට හැකියාවක් නැත. දේශපාලන නියෝජනයේ 25% කාන්තා නියෝජනයක් ලබා ගැනීමට හැකි වීම ලාංකික කාන්තා අප ලබාගත් ජයග්‍රහණක් වන්නෙ ඒ නිසාය.

(සම(හරක්) ඇගිල්ලෙන් ඇන ඇන අපිට මතක් කර දෙන “සමතැන” දෝ මොකක්ද එක අපිට උරුම නම් 25% කතන්දර අදාලම නැත. එය 50% විය යුතුය. මගේ පුද්ගලික මතය නම් පිරිමි හෝ ගැහැණු බෙදා වෙන්කර ප්‍රතිශත දීම අවශ්‍යම නැති බවයි. කාන්තාවන් ඒ සදහා සුදුසු නම්, චන්ද දායකයින් කැමැති නම්, කාන්තා නියෝජනය 60% / 70% වෙන්නට වුවද පිලිවන් විය යුතුය)

පක්ෂය කුමක් වුනත් කාන්තාවකට ඡන්දය දීම තුලින් කාන්තාවන් ලබා ගත්තායැයි කියන මේ ජයග්‍රහණය සුරක්ෂිත කර ගැනීමට හැකිවේ යැයි සිතෙනවා නම් එසේ කරමු. නමුත් කාන්තා නියෝජනය ඉදිරියෙ ඔබගේ මනාපය ලකුණු කිරීමට පෙර ඔබගේ තීරණය නිවැරැදි දැයි සියවරක් සිතන්න. පිරිමි අපේක්ෂකයකු ඉදිරියෙ කතිරය ගැසීමට පෙර දෙවරක් සිතුවා නම් කාන්තා අපේක්ශීකාවක ඉදිරියෙ ඔබේ මනාපය ලකුණු කිරීමට පෙර සියවරක් සිතිය යුතුව ඇත.

ප්‍රාදේශීය සභාවෙ සිට පාර්ලිමේන්තුව දක්වාම පිරිමි සහ කාන්තා නියෝජනය උගත් බුද්ධිමත් නියෝජනයක් විය යුතු නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් එකකි. අති බහුතරයක් පිරිමින් වූ අපගේ දේශපාලන නියෝජිතයන්ගෙන් 95% ට වඩා පිරිසකගේ බුද්ධියේ දිග පළල අප දිනපතා අත්දකිමින් සිටිමු. උගතා, බුද්ධිමතා අපගේ නියෝජිතයා කරගනු වෙනුවට බහුතරයක් චන්ඩින්, හොරුන්, දූශිතයින් සහ ජාවාරම්කරුවන් අපගේ නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගෙන ඇත්තේ ද අප විසිනි. අතලොස්සක් වූ උගත් නියෝජනය ද ඔවුන් හමුවේ නිරුත්තරව සිටිති. ඒ නිසාම රටේ ප්‍රශ්න විසදනු වෙනුවට උත්තරීතර පාර්ලිමේන්තුව තුල පවා සරම කරට ගෙන ගහ මරා ගන්නා මෝඩයින් රැලකගේ විකාර බලා සිටීමට සිදුවීමට වගකිවයුත්තන් වන්නේ ද අපමය.

“මෝඩ පිරිමියෙකුට බලය ලැබුනාට වඩා විනාශයක් මෝඩ ගැහැනියකට බලය ලැබුණු විට සිදු විය හැකිය”. එකම වැරැද්ද දෙවරක් විය යුතු නැත. ඒ නිසාම කාන්තා නියෝජනය තෝරා ගැනීමේදී අප දෙවරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතුව ඇත. (දැන් මම ස්ත්‍රී විරෝධී ගැහැනියක් යැයි කියමින් මගේ කරේ නගින්නට පෙර මම කියන්නට උත්සාහ ගන්නා දේ තේරුම් ගන්න)

දේශපාලන පක්ෂ වලටද උගත්, බුද්ධිමත් කාන්තාවන් අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් කිරීමේ වගකීම ඇත. නමුත් බොහෝ දේශපාලන පක්ෂ තම පිරිමි නියෝජිතයන් ලෙස ඉදිරිපත්කරන්නන් දෙස බැලූ විට ඔවුනගේ කාන්තා නියෝජිතයන්ගේ කෙරුවාව ගැන ද අනුමාන කල හැකිය. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් අතර සිටින උගත් බුද්ධිමත් කාන්තාවන් සදහා පමණක් කතිරය ගැසීමට අප වගබලා ගත යුතුය. නිර්දේශිත අපේක්ෂකයින් අතර එවැන්නියන් නැතිනම් කාන්තාවක් වූ පමණින්ම අපගේ චන්දයට ඔවුන් උරුමකම් කියන්නේ නැත. ලබා ගත් අයිතිය අර්ථවත් වන්නේ අපගේ තෝරා ගැනීම නිවැරැදි වුවහොත් පමණි.

දේශපාලනයේදී අපිව නියෝජනය කරන්නට අප විසින් තෝරාගෙන ඇති පිරිමින් ගැන නම් කතා නොකරන එක වඩා හොදය. මක් නිසාද යත්, ඔවුන් ඒ තරමටම අති විශිෂ්ඨ වන නිසාය. ඒ නිසා අඩුම තරමින් කාන්තා නියෝජනය වත් නිවැරැදිව පත් කරගන්නට අප බුද්ධිමත් වුවහොත් රට යමින් පවතින අගාධයෙන් ගොඩ ගත හැකි යැයි පුංචි හෝ බලාපොරොත්තුවක් රදවා ගත හැකි වනු ඇත.

එසේ නොවුනහොත් අලි මදිවාට හරක් කිව්වා මෙන්, කාන්තා අපගේ ප්‍රශ්න වලට විසදුම් සෙවීම කෙසේ වෙතත් සාරි කරට ගෙන කෙහෙවලු පටලවා ගන්නා “වට්ටිඅම්මලා” වැනි කාන්තා නියෝජිතයන් පිරිසක් ද ඉතා නුදුරු අනාගතයෙදි අපිට ලැබෙනු ඇත.

(වට්ටි අම්මා යන්න ජනවහරේ අප භාවිතා කරන්නෙ තැනට අවශ්‍ය ලෙස හඩ සහ යාව පවත්වා ගන්නට නොදන්නා ගැහැනිය හැදින්වීමට මිසක් එම වෘත්තීය කරන්නියන් අපහාසයට ලක් කිරීමට නොවේය යන්නත් සිහියට ගනු මැනවි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here