සිනමාවේ පතිරාජයෙකු වූ ධර්මසේන පතිරාජ ජීවන සිනමාවෙන් සමුගනී

0
104

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ඉරිදා (ජනවාරි 28) අභාවප්‍රාප්ත විය.මහනුවර පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගන්නා විට ධර්මසේන පතිරාජයන් 74 වෙනි වියේ පසු විය.දෙස් විදෙස්හි සම්මානයට පත් ඔහු ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී ලකුණක් තැබූ මහා කලාකරුවෙකු වන පතිරාජයන් , අහස්ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සහ පොන්මනී ඔහුගේ විශිෂ්ඨ සිනමා කෘති අතර වේ.

1943 මාර්තු 28 උපද ලද ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා තිබේ.

ධර්මසේන පතිරාජයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේදී මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි

පහත දැක්වෙන්නේ පතිරාජ ගැන බුද්ධ දාස ගලප්පත්තීන් විසින් ගෙනෙන ලද විශේෂාංගයකි.

අපි ඔහුට පතී යයි කියා අමතමු. ඇතැමෙකුට ඔහු ඩොක්ටර් පතිරාජය. ආචාර්ය ධර්මසේන පතිරාජය. පතිරාජ සර්, නැත්නම් පතී අය්යා අප හැඳින්විය යුත්තේ සිනමාකරුවෙක් ලෙස පමණක්ද? ඔහු සිනමාවේ කැරලිකාරයාය, විප්ලවවාදියාය යන විරුදාවලිය ලබනනේ කුමන විප්ලවීය, කැරලිකාර චරිතයක් නිරූපණය සඳහා ද? ශ්‍රී ලංකාවේ, දේශපාලන ඉතිහාසය තුළ, විදේශීය බලවේග පලවා හැරීමට කැරැලි ගැසු අපගේ මුතුන් මිත්තන්ගේ වීරෝදාර කැරලිවලින් අනතුරුව නිදහසින් පසු දේශපාලනයේ අප අත්විඳින ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් මස ඇරඹුමේ සිදුවන්නේ අවි අතට ගත් තරුණ කණ්ඩායම් බලයේ සිටි රජයට එරෙහිව කැරැලි ගැසීම ඇරැඹුමෙනි.

1956 දී ද මෙරට දේශපාලන ඉතිහාසය විප්ලවයක තතු සටහන් කරන මුත් එය, අවි අතට ගත්, ආයුධ සන්නද්ධ වූවන්ගේ කැරල්ලක් නොවීය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදී වූ පංච මහා බලවේගයක් එස්. ඩබ්ලි. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ගසන ලද කැරැල්ලෙහි, දේශපාලන විප්ලවයෙහි ඵලය වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහ ගත් කතුවරයා විසින් පසුව හඳුන්වන ලද බමුණු කුලය බිඳ වැටීමයි.

ශ්‍රී ලාංකේය සිනමාවේද එබඳුම විප්ලවීය වෙනසක් සිදුවන්නේ 1971 කැරැල්ල හෙවත් තරුණ පිබිදීමට සමගාමී අවධියක, 1974 ජනවාරි 24දා අහස් ගව්ව නමින් චිත්‍රපටයක් තිරගතවීමත් සමඟය. අහස් ගව්ව, මෙරට සිනමාව තුළ දේශපාලනය සාකච්ඡා කළ, වෙසෙසින්ම, රැකියා විරහිත තරුණ පරම්පරාවේ, ජීවන අරගලය, සිනමාවෙන් පැවැසීමට ගත් ප්‍රථම උත්සාහය යැයි හඟිමි. පසුගිය මාසයේ 28 වනදා සිය හැත්තෑ හතර වන ඡන්ම දිනය සැමරූ ධර්මසේන පතිරාජ, තමන්ගේ වයස යන්තම් අවුරුදු තිස් එකක් පමණ වූ කල්හි අහස් ගව්ව, නිර්මාණය කරන්නේ ඊට පෙර සිටම සිනමාවේ ඔහු ලද අත්දැකීම් සමඟිනි. ධර්මසේන පතිරාජගේ නම චිත්‍රපට තිරයක පළමුව පතිත වන්නේ, 1969 වර්ෂයේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටය සමඟයි.

සරසවි සිසු සිසුවියන්ගේ සරසවි ජීවිතයේ සිදුවීම් ආශ්‍රීතව නිර්මාණය වූ හන්තානේ කතාව, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ ප්‍රශ්න පිළිබඳ ගැඹුරු දේශපාලන කියවීමකින් වියුක්ත වුවද, එහි රංගනයේ, සංගීතයේ නැවුම් ගීතාවලියේ වූ ආකර්ෂණය හේතු කොටගෙන අද දක්වාම ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇති චිත්‍රපටයක් බවට පත් වී ඇත. ධර්මසේන පතිරාජ, හන්තානේ කතාවෙහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස සිනමාවෙහි අත්පොත් තබමින්, 1974 දී තමන්ගේ ප්‍රථම චිත්‍රපටය අහස් ගව්ව, මෙරට තරුණ චිත්‍රපට ප්‍රේක්ෂකයනට ප්‍රදානය කරමින් 2016 තෙක් පැමිණි දිගු ගමන් මගෙහි සටහන් වී ඇති සන්ධිස්ථාන කිහිපයකි. එයා දැන් ලොකු ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) හා තිරගතවීමට නියමිත ස්වරූප නම් වූ වෘතාන්ත චිත්‍රපට ධර්මසේන පතිරාජ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නම ඉදිරියෙහි වේ.

මෙම චිත්‍රපට අතර බඹරු ඇවිත්, පාරදිගේ හා සොල්දාදු උන්නැහේ වැනි චිත්‍රපට පිළිබඳ දීර්ඝ හා අර්ථවත් කතිකා ගොඩනැඟුණේ ඒවා තුළින් විශද වූ චිත්‍රපටයේ තේමාමක අගය, පසුබිම් වූ දේශපාලනය මෙන්ම පතීගේ සිනමා භාවිතයේ කැපී පෙනුණු නිර්මාණශිලී ගුණයද හේතු කොටගෙනයි.

ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්යභාරය අනාවරණය කරන චිත්‍රපටයක්, ලෙස මහාචාර්ය සුචරිත ගම්ලත්, බඹරුඇවිත්, හැඳින්වූයේ සරල ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි ධීවර ගම්මානයක ජනයාගේ ජීවිතයට කඩා වදින නාගරික ප්‍රාග්ධන බලආධිපත්‍යය ජනජීවිතය සුණුවිසුණු කරනු ලබන ඛෙදාන්තයක තතු පවසන බැවින් විය යුතුය. වික්ටර් නම් නාගරික තරුණ ව්‍යාපාරිකයා හා හෙලන් නම් ධීවර ගම්මානයේ ගැහැනිය අතර ගොඩනැ‍ඟෙන ප්‍රේමකතාව, ලිංගික සබඳතාවකින් අවසන් වීමේ සරල සිද්ධියකට එහා ගිය, මිනිස් සබඳතා හෙළිදරව් කරන, අපූරු සිනමා නිර්මාණයක් බවට ප්‍රතිනිර්මාණය කිරීමට පතී සමත් වුවද, ඔහුගේ දෘෂ්ටිය පිළිබඳ ගැටලු තැන් වූ බව ඇතැම් විචාරකයකුගේ මතය විය.

කෙසේ වුවත්, වසර පනහක සිංහල සිනමාවේ, හතරවන විශිෂ්ට චිත්‍රපටය සේ බඹරු ඇවිත් විචාරක සම්භාවනාවට පාත්‍ර වීමත්, ඔහුගේම සොල්දාදු උන්නැහේ එකළොස් වන ස්ථානයටත් අහස් ගව්ව දහතුන්වන විශිෂ්ට චිත්‍රපටය බවට තෝරා ගැනීමත් තුළ ධර්මසේන පතිරාජගේ සිනමාවෙහි විශිෂ්ට රූපීය බව සනාථ කොට සිටී. වෘතාන්ත චිත්‍රපටකරණයට පෙර ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද සතුරෝ (කෙටි චිත්‍රපටය) 1969 දී තිරගත වේ. අඳුරින් එළියට (1972) හා වෙරළ (1974) වාර්තා චිත්‍රපට ද පතිරාජගේ සිනමා භාවිතය පිළිබඳ සාක්ෂි සටහන් කොට ඇති නිර්මාණ වේ.

සිනමාව තම ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය සේ තෝරාගනු ලබන පතිරාජ, සිනමාවට පිවිසීමට පෙර වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර‍යෙහිද හපන්කම් පාන්නේ, 1971 රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන්, ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද පුටු නාට්‍යයේ පරිවර්තනය සඳහා හොඳම පරිවර්තන පිටපතට හිමි රාජ්‍ය සම්මානයද දිනා ගනිමිනි. ඉයුජින් අයෙනෙස්කෝගේ ද චෙයාර්ස් හි රංගනයට එක්ව සිටියෝ, විමල් කුමාරද කොස්තා, මාලිනී වීරමුණි හා දයා තෙන්නකෝන් ආදීහුය.

සිනමාව, වේදිකාව මෙන්ම පරිවර්තන සාහිත්‍යයෙහි ද ධර්මසේන පතිරාජගේ ප්‍රභාව අප දකින්නේ 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේ දී ය. පෙද්රෝ පරාමෝ පරිවරත්නය සඳහා එකී උළෙලේදී ආචාර්ය ධර්මසේන පතිරාජ, හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමත් සමඟය. පේරාදෙණිය සරසවියේදී මහැදුරු සරච්චන්ද්‍ර වැන්නන්ගෙන් සිප් ලැබු පතිරාජ, සිනමා අධ්‍යයනය (Film Studies) සඳහා ආචාර්ය උපාධිය ලබාගන්නේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියෙනි.

ඔහුගේ සිනමාව පිළිබඳ කෘතහස්ත දැනුම ශ්‍රී ලංකාවේ චිත්‍රපට සම්මාන උළෙල විනිශ්චය මතු නොවු , අන්තර්ජාතික චිත්‍රපට සම්මාන ජූරි සඳහාද බොහෝ අවස්ථාවල ලබාගෙන ඇති බව අපි දනිමු. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ පසු පරම්පරාවේ පුරෝගාමීන් අතර, ආචාර්ය ධර්මසේන පතිරාජ, විශිෂ්ට සිනමා කෘති කිහිපයක හිමිකරුවා ලෙස සක්‍රීය නිර්මාණකරුවාගේ භූමිකාව රඟන්නේය.

සක්කාරං හා ස්වරූප වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය අපට සිහිපත් කොටදෙන්නේ, තම ප්‍රකාශන මාධ්‍ය වෙනුවෙන් කැපවන කලාකරුවෝ, වියපත් වීම සමඟ නිර්මාණකරණයෙන් ඈත් නොවන බවයි. යාපනය සරසවියේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධව එහි ගතකළ කාලයේ ලද ජීවන අත්දැකීම්, තමා විඳි පළමු අත්දැකීම් සේ සලකමින්, පොන්මනී අධ්‍යක්ෂණයට පිවිසුණා විය හැකිය. යාපනයේ දෙමළ ජනයාගේ ආගම්වාද, කුලවාද, දෑවැදි ප්‍රශ්නය, ලිංගික සූරාකෑම වැනි සමාජ, දේශපාලන ප්‍රශ්න සමග එහි ජනයා ජීවත්වීමට කරනු ලබන අරගලය පොන්මනී තුළින් පවසන්නට ගත් වෑයමක් සේ හැඳින්වේ. පතිරාජගේ සිනමා භාවිතය තුළ, සෑම අවස්ථාවකදීම සමාජ විඥානය ගැබ්ව තිබූ අයුරු පැහැදිලිය.

ධර්මසේන පතිරාජගේ නිර්මාණාත්මක භූමිකා පිළිබඳ පසු විපරමකදී, සිනමාවේ, වේදිකා නාට්‍යයේ හෝ සාහිත්‍යයේ, ඔහු විසින් ප්‍රකට කරන ලද දායකත්වය අරඹයා නිසි ඇගැයීම්, ගෞරව, සම්මාන ප්‍රණාම හිමි වී ඇති බවයි මගේ හැඟීම. එහෙත් මෙම මුඛ්‍ය ප්‍රකාශන මාධ්‍ය හැරුණු කල ඔහුගේ අතිශය ප්‍රතිභාන්විත කුසලතාව ප්‍රකට වන තවත් කලා මාධ්‍යයක් සේ ගේය පද රචනය හැඳින්විය හැකිය. ඔහු විසින් ධර්මසිරි බණ්ඩාරනායක තරුණ සිනමාවේදියාගේ හංස විලක් චිත්‍රපටය සඳහා රචනාකරන ලද හෙමින් සැරේ පියා විදා ගීතය මෙරට චිත්‍රපට ගී අතර විශිෂ්ටතම ගී කිහිපය අතරට එක්ව ඇති බව අවිවාදිතය.

හෙමින් සැරේ පියා විදා

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පළා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන

සිඟිති සුකොමළ රුවින් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී

සිහින නිම්නය සුපුෂ්පිත වෙයි

සීනු හඬකින් මහද අමතයි

මුදා හැරදා පවුරු සිරියහනේ…’

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ අපූර්ව සංගීත නිර්මාණයෙන් සුනිලා අබේසේකර නම් වූ ගායිකාවගේ අතුල්‍ය හඬින් ශෝභාවත් වූ ගීතයෙහි අර්ථපූර්ණ ධ්වනි පූර්ණ, සංකල්ප රූපාවලිය දෙදරා ගිය කුටුම්භයකත් අසම්මත පෙමකත් අභ්‍යන්තර ගැටුම එක්පසෙකින් ද අනෙක් පසින් ආදරයේ චමත්කාරය හා සෞන්දර්යද විශිෂ්ට ලෙස නිරූපිත වාග් චිත්‍රයක් ද මැවෙන්නේ පතිරාජ නම් වූ ගේය කාව්‍යරචකයාගේ සංකල්පනාවෙහි මහිමය නිසාය. පතිරාජ නම් වූ ගේය කාව්‍ය සංකල්පනාකරු කවියකු බව මා දැනගන්නේ 2005 වර්ෂය තරම් ඈත වකවානුවකදීය.

ඔහු මා ඉදිරියේ මධුවිතක් තොලගාමින් නුගේගොඩ ජුබිලි කණුව අවන්හලක සැඳෑ යාමයේ දී රචනා කළ මේ කාව්‍ය සංකල්පනාව ඔහු කාව්‍යක්කාරයෙක් බවද මා දැනගත් මොහොතයි. 2005 වසරේ ජූනි පස්වනදාවක පතීත් මාත් පිළියන්දලට ගියේ අප දෙදෙනාගේම මිතුරෙකු වූ පැරීසියේ වෙසෙන ආනන්ද දොඩන්ගොඩගේ දියණිය රසිකා හමුවීමටය.

ඒ හමුවෙන් පසු පතී මා නිවසට ඇරලවන්නට එමින් සිටියදී හදිසියේ වූ යෝජනාවකින් ජුබිලි කණුවේ අවන්හලක උඩුමහලේ සිට අපි දෙදෙනා ගීතය කවිය සිනමාව ආදී අපට විෂය ගෝචර වූ මාතෘකා පිළිබඳ කතාබහක යෙදුණේ, මධුවිතක රසය මඳ වශයෙන් විඳිමිනි. මොහොතකින් මේසය මත වූ අත පිස්නා සුදු කොළයේ පතීගේ පන්හිදෙන් ගලා ආ කවි සංකල්පනාව මෙයයි. (මුල් පිටපත මා සතුය)

වැස්ස විෂ වගෙයි

වැස්ස වැව වගෙයි

වැස්ස ගඟ වගෙයි

දුක්බර අහස මං වගෙයි

මන්දාරම් කඳු මුදුනේ

වැහි ලිහිණියො එක්වෙලා

දියකාවෝ පේලි සැදී

රැස්වීමට රැස්වෙලා

සුළඟ හරි දඟයි

විදුලිය අකුණු හරි සැරයි

පුරන් කුඹුර දෝරෙ ගිහින්

ගේ පැත්තට ගලනවා

මල්ලියෙ හනිකට බලපං

ගේ ඔක්කොම තෙමෙනවා

සුළඟ හරි දඟයි

විදුලිය අකුණු හරි සැරයි

මගෙ අම්මෙ උඹ කොහෙදෝ

හිතට හරි බයයි…

කවියක් ලෙසින් ලියැවුණද මෙහි ගීතවත් බවක් වේ යැයි මම පතීට පැවැසීය. වැස්ස පිළිබඳ අපූර්ව සංකල්ප රූප රැසක් සතු මේ රචනයෙහි කවියාගේ මව කෙරෙහි වන ආදරයද සැඟවී ඇත. ඔහු ඈ පිළිබඳ බියෙන් පසුවේ. වැස්ස ඇයට අනතුරක් කරාවිද යන අනියත බිය ඔහු සිත වේ.

ඒ බිය තීව්‍ර කරන වැස්සේ ප්‍රචණ්ඩත්වය කවියා මවන්නේ ඔහුගේ පරිකල්පනයේ විශිෂ්ටතාව ප්‍රකට කරමිනි. ගීයකට වඩා ළංවන බැවින්, මේ රචනාව දීපිකා ප්‍රියදර්ශනී වැනි ගායිකාවකට යොමුකළ යුතු යැයි පතී පැවසුවද එය එසේ වූවාදැයි මම අදත් නොදනිමි. ධර්මසේන පතිරාජ නම් වූ මිත්‍රයා පිළිබඳ ඔහුගේ සැඟවුණු නිර්මාණ කුසලතා පිළිබඳ සිහිපත් කරන්නට ලද ඉඩහසර පිළිබඳ සතුටක් දැනෙන බව කියමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here