ජනපති ප්‍රේමදාස ඝාතනයේ සුදු ‍ලේන්සුවේ අබිරහස නිල ඡායාරූප ශිල්පියා හෙළිකරයි

0
188

ආර්. ප්‍රේමදාස ජනපතිවරයාත් ඡායාරූප ගැනීමට ප්‍රිය කළා නේද?

එතුමා සෑම වසරකම සිංහල අවුරුද්දට යාල යනවා. අවුරුදු සතියේම එතුමා ඉන්නේ යාල කැ‍ලේ. එතුමා යාල කැ‍ලේ සිටින සතුන්ගේ පින්තූර අරගෙන රීල් එක මට දෙනව මුද්‍රණය කරල දෙන්න කියලා. මමත් ජනපතිතුමා ගත් ඡායාරූප මුද්‍රණය කරලා ඇල්බම් හදලා එතුමාට දෙනවා මේ කාලයේ මම කවදාවත් අලුත් අවුරුදු නැකතට ගෙදර ඉඳලා නෑ. මොකද කැමරා උපකරණ අරන් මටත් එතුමා සමග යාල යන්න සිද්ධ වූ නිසා.

ප්‍රේමදාස ජනපතිවරයා ඔබව දණගැස්සූ සිද්ධිය මොකක්ද?

ඒක වුණේ මුල්කිරිගල අතුරු මැතිවරණ සමයේ. ඒ කාලයේ එතුමා අගමැති. අතුරු මැතිවරණයේ එජාප ප්‍රචාරක රැස්වීමකට අති විශාල ජනතාවක් පැමිණ සිටියා. මම ඒ රැස්වීමට ගියේ අගමැතිතුමා සමග තවත් රැස්වීම් කීපයකට ගිහිල්ලා. මේ නිසා මා හරිම තෙහෙට්ටුවෙන් සිටියේ. මම පිටුපසට ගිහින් බිම එකක් බොමින් සිටින විට අගමැතිතුමා මාව හොයලා තිබුණා. ආරක්ෂක නිලධාරියකු පැමිණ මට කීවා අගමැතිතුමා මාව හොයනවා කියලා. මම යනකොටත් එතුමාට තරහ ගිහිල්ලා හිටියේ. කොහෙද අයිසේ පිස්සු බල්ලා වගේ දුවන්නේ කියලා බැණ වැදුණු ඔහු මෙතැනම දණ ගහගෙන ඉන්නවා කියලා නියම කළා. මම වේදිකාව මැද දණ ගහ ගත්තා. දැන් දණ ගහගෙන මේ සෙනඟේ පින්තූර ගහනවා කියලා අගමැතිතුමා කීවා. මම පින්තූරත් ගත්තා. ඊට පස්සේ මට නැගිටින්න කියලා මින් පස්සේ මට පේන තැනක ඉන්න ඕනේ කියලා අවවාද කළා. එදා ඉඳන් මම උත්සවයකට ගියාම එතුමාට පේන්න තමයි හිටියේ.

ඔබ මුලින්ම ප්‍රේමදාස ජනපතිතුමා සමග විදේශ සංචාරයකට ගියේ කොහේද?
මුලින්ම මම ගියේ එතුමා අගමැති ධුරය දරපු කාලයේ. අසූ හයේදී මම අගමැතිතුමා සමග රුමේනියාව, තුර්කිය හා එංගලන්තය බලා ගියා. ඒ ගමනට කලින් මට අගමැති ප්‍රවෘත්ති ‍ලේකම් එවන්ස් කුරේ කීවා ඔබ ගන්නා පින්තූර සෑම දිනකම පාන්දර හතරට කලින් මුද්‍රණය කරලා අගමැතිතුමාට පෙන්වන්න ඕනේ කියලා. දැන් කාලයේ වගේ
තාක්ෂණික පහසුකම් නැති ඒ කාලයේ මෙය මට ලොකු අභියෝගයක් වුණා. මම තාත්තාට ඒ ගැන කීවාම ඔහු මට ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය උපකරණත් දුන්නා.

මුලින්ම අපි ගියේ රුමේනියාවට. මම එදා රෑ පින්තූර මුද්‍රණය කිරීමට ‘ඩාක් රූම් එක’ ලෙස භාවිතා කළේ හෝටලයේ නාන කාමරයයි. කෙසේ නමුදු එදා මට රෑ නිදා ගන්න ලැබුණේ නෑ. තාක්ෂණික හේතුවක් මත ඡායාරූප මුද්‍රණය වුණේ නෑ. අවසානයේ දී ඒ ගැටලුවත් හදාගෙන පින්තූර මුද්‍රණය කරන විට එළිවෙලා.
එල්.ටී.ටී.ඊ.ය හා ජනපති ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡා තිබුණේ කොහේද?
සුචරිතයේ තමයි සාකච්ඡා තිබුණේ. එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයා ඇතුළු පිරිසක් එක්ක තමයි ජනපතිතුමා සාකච්ඡා පැවැත්වූයේ. ඒ සිද්ධියෙත් ඡායාරූප ගත්තේ මමයි.

ප්‍රේමදාස ජනපතිවරයා ඝාතනය වූ දිනයේ ඔබට ඔහු මුලින්ම මුණගැහුණේ කොයි වෙලාවේද?

එදින උදේ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් ගෙදරට කතා කරලා තිබුණා. ඒ වෙලාවේ මම ගෙදර හිටියේ නෑ. බිරිය තමයි ජනාධිපතිතුමා කතා කරන විට උත්තර දීලා තිබුණේ. මම ඒ වෙලාවේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ඇවිත් තිබුණා. බිරිය මට කාර්යාලයට කතා කරලා කීවා ජනාධිපතිතුමා හොයනවා ඉක්මනට කතා කරන්න කියලා. මම සුචරිතයට කතා කළාම ජනපතිතුමා ඇහුවා සුදත් ඔයා ළඟ ප්‍රභාකරන්ගේ පින්තූරයක් තියනවාද කියලා. ඇති සර් කියලා මම කීවා. එහෙනම් ප්‍රභාකරන්ගේ පින්තූරය අරන් ඉක්මනට සුචරිතයට එන්න කියලා ජනපතිතුමා කීවා. අපි සුචරිතයට ගියාම ඉන්නේ පහළ මාලයේ. කවදාවත් අපි එතුමාගේ නිදන කාමරයට යන්නේ නෑ. නමුත් එදා

ජනාධිපතිතුමා මම ගිය වහාම පින්තූරයත් අරන් උඩ කාමරයට එන්න කීවා. මම යනකොට එතුමා මේස් බැනියමකුත් ඇඳගෙන හිස පීරමින් සිටියා. ජනපතිතුමා මට කීවා ප්‍රභාකරන්ගේ පින්තූරයේ තවත් කොපි දහයක් මුද්‍රණය කරලා උදේ එකොළහට නැවත සුචරිතයට එන්න කියලා. මම ස්ටූඩියෝ එකට ගිහින් පින්තූර මුද්‍රණය කරලා හරියට එකොළහටම සුචරිතයට ගියා. ඒ වෙලාවේ ජනපතිතුමා සාකච්ඡාවක් පවත්වමින් සිටියේ.

මොකක්ද තිබුණු සාකච්ඡාව?

මැයි දිනය ගැනයි එම සාකච්ඡාව තිබුණේ. මැති ඇමැතිවරුන් හා ‍පොලිස් නිලධාරීන් එහි හිටියා. ජනාධිපතිතුමා එදින හිටියේ කනස්සල්ලෙන්. මොකද ලලිත් ඇතුලත්මුදලි ඝාතනය ගැන ආණ්ඩුවට ඇඟිල්ල දික් වෙලා තිබුණු නිසා මැයි දිනයට සෙනඟ එන එකක් නෑ කියලා. මම එම රැස්වීම අවසන් වනතුරු ඉඳලා ප්‍රභාකරන්ගේ පින්තූර ටික ජනපතිතුමාට දුන්නා.

ජනපතිවරයා එම ඡායාරූපවලට මොකද කළේ?

එතුමාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු වන දයාරත්නට එම ඡායාරූප ටික දුන්නා. දයාරත්න දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ. මා පසුව සොයා බලන විටයි දැන ගන්න ලැබුණේ ජනාධිපතිතුමා මගෙන් ප්‍රභාකරන්ගේ ඡායාරූප ගත්තේ ඉන්දියාවේ සිට පැමිණි මලයාලම් ගුරුකම් කරන අයෙකුට දෙන්න කියලා.

ප්‍රභාකරන්ගේ පින්තූර මලයාලම් ගුරුකම් කරන අයෙකුට දුන්නේ මොකටද?
ප්‍රභාකරන්ට ගුරුකම් කරන්න තමයි පින්තූර දුන්නේ.

සාකච්ඡාව අවසන් වූ පසු ජනපතිවරයා කොහේද ගියේ?

ජනපතිවරයා හදිසියේ ගමනක් යන්න ආවා. නමුත් එතුමා එන බව ආරක්ෂකයන් දැන සිටියේ නෑ. එහෙන් මෙහෙන් හිටපු ආරක්ෂකයෝ වහාම වාහනවල නැගලා ජනාධිපතිතුමා සමග සුගතදාස ක්‍රීඩාංගණයට එන්න පිටත් වුණා. මමත් විශේෂ කාර්ය බළකායේ ජීප් රියක එල්ලිලා ජනපතිතුමා පස්සෙන් ගියා. කෙසෙල්වත්ත ‍පොලීසිය අසලදී ජනපතිවරයා සමග ගිය වාහන පෙළම එකවරම බ්රේක් ගැහුවා. අපි හැම දෙනාම කලබල වුණා ඒ ගහපු බ්රේක් පාරට. ඒ ගැන සොයන විට තමයි දැනගන්න ලැබුණේ ජනපතිතුමා ගමන් කළ රථ පෙළට පූසෙක් පැනලා කියලා. මේ සිද්ධියෙන් පස්සේ ජනපතිතුමා දවස කාර්යාලය ළඟ මඳ වේලාවක් වාහනය නතර කරගෙන ඉඳලා පංචිකාවත්තට ගියා. එතැන මැයි දින පෙළපාළියේ වැඩ කටයුතු බලලා එතුමා සුගතදාස ක්‍රීඩාංගණයට ගියා.

එතකොට ජනපතිවරයා ආමර් වීදියට ආවේ ඇයි?

එතුමා සුගතදාස ක්‍රීඩාංගණය අසලදී පාක්ෂිකයන්ට, හතර දෙනා බැගින්
පෙළපාළියේ යන්න කියලා උපදෙස් දෙමින් පාගමනින්ම ආමර් වීදියට ආවා. මමත් එතුමා සමග පයින්ම ආමර් වීදියට ආවා. මොකද සුචරිතයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කළේ සුගතදාස ක්‍රීඩාංගණයෙන් එන
පෙළපාළිය ආමර් වීදියේ නතර කරලා මැසෙන්ජර් වීදිය හා කෙහෙල්වත්ත හා අලුත්කඩේ දෙසින් එන පෙළපාළි දෙක ආමර් වීදියේදී එකතු කරන්නයි. ඒ අනුව ජනපතිතුමා මැසෙන්ජර් වීදිය කෙහෙල්වත්ත පැත්තෙන් ආපු පෙළපාළි නතර කරලා ප්‍රධාන පෙළිපාළියට එකතු කළා. ජනපතිවරයා ඉලක්ක කර බෝම්බය පුපුරුවා හැරී බාබු ආවෙත් ඔය පෙළපාළියේ.

ඔබ ඊට පෙර බාබු දැක තිබුණාද?

නෑ මම කවදාවත් බාබු දැකලා නෑ. අඩුම තරමේ ජනාධිපතිතුමාවත් බාබු දැකලා තිබුණේ නෑ කියලා මා විශ්වාස කරනවා. බාබුගේ සබඳතාව තිබුණේ එතුමාගේ ආවතේවකරුවන් හා ආරක්ෂක නිලධාරීන් සමගයි.

ඔබට මතකද ජනාධිපතිවරයා අවසාන වරට මොනවද කීවේ?

ජනාධිපතිතුමා ඔරලෝසුව බලලා එතුමාගේ ප්‍රවෘත්ති ‍ලේකම් වූ එවන්ස් කුරේට කතා කරලා කීවා ගුවන් විදුලියේ දොළහයි හතළිස් පහේ ප්‍රවෘත්තිවලට කියන්න එජාප මැයි පෙළපාළියට ලක්ෂයට අධික ජනතාවක් සහභාගි වෙලා ඉන්නවා කියලා. ජනාධිපතිතුමා ඔරලෝසුව බලලා මේ කතාව කියන කොට මම එතුමාගේ ඡායාරූපයක් ගත්තා. ඒක තමයි එතුමාගේ අවසාන ඡායාරූපය. ජනාධිපතිතුමා මේ කතාව කීවාම එවන්ස් කුරේ ඔහු අත තිබූ සෙලියුලර් දුරකථනයත් අරගෙන සුලෙයිමන් රෝහල පැත්තට ගියා. එතුමාගේ රේන්ජ් රෝවර් රථයත් ඒ අසල නතර කරල තිබුණු නිසා මට තේරුණා ජනාධිපතිතුමා යන්නයි හදන්නේ කියලා. මම පාර පනිනවාත් සමගම තමයි බෝම්බය පිපිරුණේ.

ජනාධිපතිවරයාට සමීපයේ සිටින ඔබ ජනපති ඉලක්ක කරගනිමින් එල්ල වූ ස්වයං ඝාතන බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරා ගත්තේ කොහොමද?

හාස්කමකින් වෙන්නැති. බෝම්බය පිපිරුණේ මා සිටි තැනට මීටර් හය හතක් දුරින් පමණ. පිපිරුම සමගම මගේ කන් ඇහෙන්නේ නැතිව ගියා. මගේ පිටට මොකක් හරි වදිනවා වගේ දැනුණා. මම පිට අත ගාලා බලන විට මිනිස් මස් කෑල්ලක් තමයි පිටේ තිබුණේ. හැරිලා බලන විට ජනාධිපතිතුමා සිටි තැනින් දුම් පිටවෙනවා දුටුවා. මොකද වුණේ කියලා හිතා ගන්නවත් බැරි නිසා මම පින්තූර ගත්තෙත් නෑ. ඒ වෙලාවේ පැමිණි එකල කොළඹ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා වූ සෙනවිරත්න මට ඇවිත් කීවා පින්තූර ටිකක් අරන් දෙන්න කියලා. මම පින්තූර ගත්තා.

බෝම්බයෙන් පස්සේ ජනාධිපතිතුමාට මොකද වුණේ?
හැමදෙනාම කීවා ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෑ එතුමා පිපිරීමට කලින් ගියා කියලා.

ඊට පස්සේ ඔබ මොකද කළේ?

ආමර් වීදිය ‍පොලීසියට ගිහින් මිහිදු මාවතේ අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ගෙන බිරියට කීවා බෝම්බයක් පිපිරුණා මට ප්‍රශ්නයක් නෑ. තව ටිකකින් මම ගෙදර එනවා කියලා. මම වාහනයක නැගලා ගෙදර එන අතරමගදී පාර දිගේ අඬ අඬා එන අපේ තාත්තා හමු වුණා. මම තාත්තාත් වාහනයට නග්ගා ගෙන ගෙදරට එනකොට අසල්වැසියන් අපේ ගෙදර පිරිලා. ඔවුන් හිතුවේ මටත් අනතුරක් වෙලා කියලා. මම ගෙදර ගිහින් ලෙයින් පෙඟුණු ටී ෂර්ට් එක ගලවලා අලුත් ඇඳුමක් ඇඳගෙන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියා.

ඔබ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට යන විට කවුද එහි හිටියේ?

අගමැති ඩී.බි. විජේතුංග, සභානායක රනිල් වික්‍රමසිංහ, අගවිනිසුරුතුමා ඇතුළු පිරිසක් හිටියා. මා කාර්යාලයට ගිය හැටියෙම එකල ජනාධිපති ‍ලේකම්වරයා වූ කේ.එච්.ජේ. විජේදාස මහතා මට කීවා උඩුමහලට ඇවිල්ලා වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන ඩී.බි. විජේතුංග මැතිතුමාගේ පින්තූරය අරගෙන පත්තරවලට දෙන්න කියලා. ජනපතිතුමා මියගොස් ඇති බව මට තේරුණේ එවිටයි. මම වැඩබලන ජනපතිතුමා දිව්රුම් දෙන පින්තූරය අරන් පත්තරවලට දීලා ගෙදර ගියා. ඒ වෙලාවේ තමයි මට ගෙදරින් කීවේ ජනපති ඝාතනයේ පින්තූර ඉල්ලලා මට දුරකථන ඇමතුම් විශාල ගණනක් ආවා කියලා. මොකද ඒ සිද්ධියේ පින්තූර කාටවත් ගන්න ලැබුණේ නැති නිසා.

බෝම්බය පිපිරුණු වෙලාවේ ජනපති ආර්යා හේමා ප්‍රේමදාස කොහේද හිටියේ?
එතුමිය හිටියේ මහනුවර. සිද්ධිය දැන ගත් විගස ඇය හෙලිකොප්ටරයකින් ජනපති කාර්යාලයට ආවා.
ඇය මොනවද කීවේ?

එතුමිය මගෙන් ඇහුවා මොකක්ද වුණේ කියලා. මම කීවා මම දන්නේ නෑ මැඩම් මොකද වුණේ කියලා. ඇය අඬාගෙන කෑ ගහගෙන ජනපති ‍ලේකම් කාර්යාලයේ ඉහළ මාලයේ තිබෙන ජනපති ‍ලේකම්ගේ කාමරයට ගියා. කෙසේ නමුදු බාබුගේ බෝම්බය, ජනපතිවරයා සුළු තුවාල ලබා මහජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමේ ඔහුගේ සැලසුමක කොටසක් බවත් ජනපතිවරයා බෝම්බය පිපිරීමට සංඥා කිරීමට ‍ලේන්සුවක් ගෙන වැනූ බවටත් පැතිරී ගිය කතාවේ පසුබිම කුමක්ද?

එය පදනම් විරහිත කතාවක්. ජනාධිපතිතුමා ‍ලේන්සුව වනන සිද්ධිය වූයේ බෝම්බය පිපිරීමට විනාඩි හතළිස් පහකට කලින්. එතුමා ‍ලේන්සුව ගෙන ගසලා මූණ පිහිදාගෙන නවලා නැවත සාක්කුවේ දා ගත්තා. ඒක තමයි අවසාන වශයෙන් රූපවාහිනී කැමරාවට ගන්න පුළුවන් වූ දර්ශනය. රූපවාහිනී කැමරා ශිල්පීන් ජනපතිතුමා ‍ලේන්සුවෙන් මුහුණ පිහිදාන දර්ශනය පටිගත කර ගත්තා. පසුව ආමර් වීදියට ආවා. ඒ වෙලාවේ ජනපතිතුමා කැමරා ශිල්පීින්ට කීවා මෙතැන ඉඳන් පටිගත කළොත් පෙළපාළිය ලස්සනට එන්නේ නෑ. ඔය කට්ටිය පංචිකාවත්ත වටරවුම අසල ඉහළ තැනකට ගිහින් පෙළපාළිය ලස්සනට ගන්න කියලා. මට හොඳටම මතකයි කැමරා ශිල්පීන් මට කීවා අපි උදේට කාලත් නෑ මචං මොනවා හරි කාලා පංචිකාවත්තට යනවා කියලා. එබැවින් ඔවුන්ගේ කැමරාවේ තිබුණු අන්තිම දර්ශනය තමයි ජනපතිතුමා ‍ලේන්සුව වනන දර්ශනය.

මිහිරි ෆොන්සේකා
(Lakbima)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here