සංවර්ධනයේ අලුත් පිටුවක් තබමින් මොරගහකන්දස  මංගල දියවර මුදාහැරේ..

0
194

අතීතයේ සිට ජලයෙන් සුපෝෂිත වුවත් වර්තමානයේදී නියඟයන්ට හසුව සිඳී යන වැව් තලා කිසිඳා නොසිඳෙන සේ ජලයෙන් පෝෂණය කරමින් වගාබිම් රැසක් සරුකරනු වස් හැට හතර වසරක් තිස්සේ පමා වෙමින් තිබූ මොරගහකන්ද – කළුගඟ ව්‍යපෘතියේ මොරගහකන්ද ජලාශය යථාර්තයක් බවට පත්වෙමින් අද වන විට සිය මංගල දියවර මුදාහැරීමට සුදානමින් සිටියි.

මොරගහකන්ද- කලූගඟ ව්‍යෘපාතියේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 181000කි. එහි මොරගහකන්ද ජලාශයේ ඉදිකිරිම් චීන සමාගමක් වන සයිනෝහයිඩ්‍රෝ ආයතනයෙන් කරනු ලබන අතර එයට චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 28952.1 ක් ණය මුදලක් ලබාදි ඇත. එසේම දේශීය අරමුදල්වලින් මිලියන 4920.5ක් යොදවා ඇත.

කලූගඟ ව්‍යාපෘතියට කුවේට් සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 4883.03ක් සෞදි සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 6779.94ක්, ඔපෙක් ජාත්‍යන්තර අරමුදලෙන් රුපියල් මිලියන 2358.24 ක් හා දෙශීය අරමුදල්වලින් රුපියල් මිලියන 2334.28 ක් යොදවා තිබේ.

කැනේඩියානු ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යයන ආයතනයේ අධ්‍යයනයන්ට අනුව මහවැලි ගෙඟ් ජලය ප‍්‍රයෝජනයට ගනිමින් වගාබිම් අස්වැද්දිම වෙනුවෙන් ප‍්‍රථම වරට මොරගහකන්දෙන් හැරවුම් වේල්ලක් ඉදිකිරිමට සැලසුම් කරනු ලැබුවේ 1954 වසරේදිය.

ඉන්පසුව විටින් විට මේ සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර ආයතනවල සහය ඇතිව සමීක්ෂණ කටයුතු හා පරිසර තත්ව වාර්තා සකස් කර ඇති නමුත් මෙම ව්‍යාපෘතියට නිධන් වස්තු තැන්පත් කරමින් වැඩ අරඹනු ලැබුවේ 2007 ජනවාරි 25 වැනිදාය. එහෙත් එහි ඉදිකිරිම කටයුතු අතරමග නැවතිණ.

ව්‍යාපෘතිය කඩිනම් කරමින් පසුගිය වසරේ ජනවරි 5 වැනි දා යළි වැඩ ඇරඹු මොරගහකන්ද කලූගඟ ව්‍යපෘතියේ මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු මේ වන විට අවසන්ව තිබේ. තව නොබෝ දිනකින් කලූගඟ ජලාශයේ කටයුතුද අවසන් වනු ඇත.

මේ වන විට ජලයෙන් පිරී පවතින මොරගහකන්ද ජලාශය අක්කර අඩි 66,000 ක ජල ධාරිතාවක් දරා සිටී. මෙම ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ පොළොන්නරුව, අනුරාධපුරය, ත‍්‍රීකුණාමලය සහ කුරුණෑගල මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කවල පවුල් 130,000 කට අත්පත් වන අතර හෙක්ටයාර 82,000 ක වගාබිම් පෝෂණය කරන්නට බලාපොරොත්තු වේ. ඒ අනුව යල මහ කන්න දෙකම වගා කිරිමෙන් මෙටි‍්‍රක් ටොන් 66,000 ක අතිරේක වී නිෂ්පාදනයක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

වගාවට අවශ්‍ය ජලය බෙදාහැරීම සඳහා හුරුළු වැව, තිසා වැව, නුවර වැව, නාච්චදුව වැව, මහකනදරාව වැව ඇතුලූ ලොකු කුඩා වැව් 1300 ක් වසර පුරා ජලයෙන් පෝෂණය කිරිමට සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතියේ මූලික අරමුණ වගාබිම්වලට ජලය මුදාහැරීම වන නමුත් අතුරු අරමුණක් ලෙස ජාතික විදුලිබල ධාරිතාවයට මොගා වොට් 25 ක විදුලිබලයක් එකතු කිරිමටද බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් මොරගහකන්ද ජලාශය ආශ‍්‍රිතව ටර්බයින් යන්ත‍්‍ර හතරක් ස්ථාපිත කර තිබේ. මෙමගින් විදුලිය නිපදවා මුදාහරින ජලය ඉහළ ඇළහැර ඇළ මගින් වගාබිම් වෙත මුදාහරිනු ඇත.

වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වන, පිරිසිදු පානීය ජල පහසුකම් නැති ප‍්‍රදේශවලට පානීය ජලය සැපයීමට ද මෙමගින් බලාපොරොත්තු වේ.

දැනට මේ ප‍්‍රදේශවලට පානිය ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය සතු ජල ධාරිතාව ඝන මීටර 28.7 ක් වන අතර ව්‍යපෘතිය සාර්ථකව නිම කිරිමෙන් එය ඝන මීටර 92.4 ක් බවට පත්කරගනු හැකිවනු ඇත. මිට අමතරව ඉහත වැව් ආශි‍්‍රතව මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරිමෙන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 3000 ක් වන ඇතැයි බලාපොරොත්තු වන අතර එයින් රුපියල් මිලියන 225 ක ආදායමක් උපයාගත හැකිවනු විශ්වාස කෙරේ.

මෙවැනි ප‍්‍රතිලාභය පොදු ජනතාවට අත්පත් කරදෙන්නට තමන් පරම්පරාගතව වාසය කළ ගම්බිම් වගාබිම් අත්හැර දමමින් රට වෙනුවෙන් කැපකිරිමක් කළ පවුල් සංඛ්‍යාව 23,000ක් පමණ වේ. ජලාශයෙන් යට වන ප‍්‍රදේශවල එලෙස කැපකිරිමක් කළ ජනතාව ඉඩම් අහිමි වු අනාථයින් බවට පත් නොකර මහවැලි අධිකාරියේ සහය ඇතිව විතැන්වන එක් පවුලකට නිවාස හා ඉඩම් සඳහා වන්දි මුදල් ලබාදෙන්නට රජය තීරණය කළේය. ඒ අනුව එක් පවුලකට ගොඩින් අක්කර භාගයක හා මඩින් අක්කර 1.5 ක ඉඩම් ප‍්‍රමාණයක් වන්දිවලට අමතරව ලබාදිමට කටයුතු කර ඇත. එසේම ඔවුන් ගම්මාන ලෙස ස්ථාන කීපයක පදිංචි කරනු ලබන අතර එවැනි ගම්මාන කිපයකට මැදිවන සේ මහවිදුහල්, පෙර පාසල් හා ආගමික ස්ථාන ඇතුලූ වෙනත් යටිතල පහසුකම්ද සහිත කුඩා නගරයක් නිර්මාණය කර ඇත.

ඒ සියල්ලට පහසුකම් සපයන ප‍්‍රධාන පෙළේ පාසල්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය ඇතුලූ තවත් අත්‍යවශ්‍ය අංග ඇතුළත් කර ප‍්‍රධාන නගර ලෙස ලග්ගල, නා උල, පල්ලේගම නගර සංවර්ධනය කරමින් පවතී.

මෙහිදී විතැන්වන පවුල් වෙනුවෙන් වන්දි හා ඉඩම් ලබාදිම සිදුකර ඇතත් මේ පවුල් සංඛ්‍යාව ගණන් බලා තිබෙන්නේ 2007 වසරේදි වන බැවින් වසර දහයක ඇවෑමෙන් වැඩ අරඹන විට ඊට තවත් පවුල ගණනාවක් එක්ව තිබිණ. එසේ අලූතෙන් එක්වු පවුල් වෙනුවෙන් තවම වන්දි ගෙවීම් හෝ ඉඩම් ලබාදීම සිදුකළ නොහැකි වි ඇති බවත් ඉදිරියේදි ඒ කටයුතු අවසන් කිරිමට අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි. තවමත් වන්දි ගෙවා නැතැයි දෝෂාරෝපණයක් ව්‍යාපෘතියට එරෙහිව නැගෙන්නේ සැලසුම් සකස් කිරිමේදි සිදුවු මේ වරද නිසාය.

ව්‍යාපෘතියට වැය කළ මුදල වසර දොළහක් තුළ ජතික ආර්ථිකයට එක් කරන්නට හැකිවනු ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය බලාපොරොත්තුවේ. ඒ වන විට අධිකාරිය අපේක්ෂා කරන පරිදි වී අස්වැන්නෙන්, මත්ස්‍ය නිෂ්පාදනයෙන් හා අමතර වගාබිම්වලින් ආදායම් උපයා ගන්නට ගොවි ජනතාවට හැකිවන්නේ නම් ඔවුන්ගේ ජීවන තත්වය ඉතා උසස් මට්ටමකට පත්වනු ඇත. එසේම විදුලිබල නිෂ්පාදනයෙන් රුපියල් මිලියන 336 ක ප‍්‍රතිලාභයක්ද එක්කරනු ඇත.

එසේම සංචාරකයින් ඇදි එන වස්ගමුව, මින්නේරිය ජාතික වනෝද්‍යාන,ඓතිහාසික වෙහෙර විහාර, නකලස් රිවර්ස්ටන් වැනි ස්වභාවික බිම්. කණ්ඩලම වැනි සංචාරක හෝටල් සහිත භූමියක් ඇසුරෙහි ඉදිවන මෙම ජලාශයන් නිසා සංචාරක කර්මාන්තයේද දියුණුවක් සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here