තර්ජන නැතිව අභියෝගයක් නෑ. අභියෝග නැතිව දේශපාලන ගමනකුත් නෑ – සාගල රත්නායක

0
46

මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද?

දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන ගියා. දැන් අපි ලෑස්තියි.

මැතිවරණය ළංවෙත්ම බැඳුම්කර වාර්තාව එළියට ඒම එ.ජා.පයට අහිතකරව බලපායි නේද?

එහෙම බලපෑමක් ඇත්තෙම නැහැ. අගමැතිතුමා කළ පත්වීම විධිමත් එකක් බව බැඳුම්කර කොමිසම් වාර්තාවේ තිබෙන බව ජනාධිපතිතුමා කිව්වා. අපි තාම මේ වාර්තාව දැකලා නැහැ. ඒ නිසා මේ ගැන වැඩිපුර කතා කරන්න බැහැ. 2008 පටන් ඉදිරි කාලය ගැනම පරීක්ෂණ කරන්න වෙනවා. මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා. අපි ඒකට එකඟයි. ඒක රටට හොඳ දෙයක්.

ඔබ එහෙම කිව්වට බැඳුම්කරේ අපවාදය සම්පූර්ණයෙන් එල්ල වෙන්නේ එ.ජා.ප.යට නේද?

ඒ මාධ්‍යයෙන් සමහරවිට පෙන්නන හැටි වෙන්න පුළුවන්. මේක 2008 පටන් දිගට ඇවිත් තිබෙන එකක්. 2015 අපි ආවට පස්සේ වෙන්දේසි ක්‍රමයකට ගියා. විනිවිදභාවයෙන් මේ කටයුතු කෙරෙන තැනට අපි වැඩ කළා. යහපාලනය යටතේ කිසි දෙයක් හංගන්න අපි කටයුතු කරලා නැහැ. නීතිපතිතුමාට නැතිනම් කෝප් කමිටුවට මේවා ගැන සොයන්න ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලුවාම ඒකත් දුන්නා. අගමැතිතුමා පවා මේ කොමිසම හමුවට ගිහින් කරුණු ඉදිරිපත් කළා. අපි කිසි දෙයක් හංගන්න උත්සාහ කරලා නැහැ. පක්ෂයක් හැටියට වගකීමෙන් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. 2015ට පෙර මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණා නම් කොයි වගේ ප්‍රතිචාරයක් ලැබේවි ද? මේ ගැන හරි තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. මෙතනින් එහාට වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. වාර්තාව දැක්කාම තමා හරියටම මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

එ.ජා.ප. ඇමැතිවරුන්ටයි ඍජුවම චෝදනා එල්ල වෙන්නේ. මෙය ශ්‍රී.ල.නි.ප. පැත්තෙන් එ.ජා.ප.යට කරන හානියක් නොවේ ද?

අපි 2008 පටන් එන කරුණුත් විමසලා බැලුවම මුළු ඉතිහාසය ගැනම එළියට ඒවි. ඊට පස්සේ අපට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ වාර්තාව සහ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව බිලියන දහයක පමණ පාඩුවක් ගැන සඳහන්. බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක් ගැන කතා කරන්න අමාරුයි. ඒ වෙලාවේ අවශ්‍ය වූ මුදල් ප්‍රමාණය තිබ්බෙ නැත්නම් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද? සමහරවිට පඩිනඩි ගෙවන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න බැරිවෙන්න පුළුවන්. අපි බාරගත්තේ දුෂ්කර තත්ත්වයක තිබූ ආර්ථිකයක්. ඒ වෙලාවේ කරන්න තිබූ ගෙවීම්වලට මුදල් අවශ්‍ය වුණා. ඒ ක්‍රියාදාමවල යම් යම් අඩුපාඩු තිබුණා. අවශ්‍ය මුදල මුල් අවස්ථාවේම ඇස්තමේන්තු කර තිබුණා නම් තත්ත්වය පැහැදිලියි. අපට තවමත් නොගෙවූ පැරැණි බිල් මතුවෙනවා. කිසිම ගිවිසුමක් අත්සන් නොකරපු ප්‍රසම්පාදන ක්‍රියා අනුගමනය නොකරපු දේවල් තවමත් මතුවෙනවා.
මීට කලින් රජය කාලයේ හානිය ටි්‍රලියන හතරක්. බිලියන හාරදහසක්. මිලියනවලින් ගත්තොත් මිලියන මිලියන හතරක්. පොඩි ගණනක් නෙමෙයි. මේව කළේ කවුද? ශ්‍රී.ල.නි.ප.යනේ. ඒත් අපි මේ වෙලාවේ ඇඟිලි දිගු කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේ රට වෙනුවෙන් වැදගත් පියවර රාශියක් ගන්න එ.ජා.ප.ය නායකත්වය දී තිබෙනවා.

පසුගිය කාලයේ සිදුවූ දේවල් පිළිබඳව ඔබ කිව්වත් ඒවා ගැන මොකුත් වෙන බවක් නම් පේන්න නැහැනේ?

ඒව සොයනවා. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී.ය මේවා පිළිබඳ කටයුතු කරගෙන යනවා. අපි මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළා. ෆොන්සේකා මහත්තය හිරේ දාපු ආකාරයට මේ කවුරුත් හිරේ දාන්න අපි කටයුතු කළේ නැහැ. මේ කටයුතු කරගෙන යාමට නීතියට අවස්ථාව දී තිබෙනවා. අපිට ඕනකමක් තිබෙනවා. ඒ දේශපාලන වශයෙන් නෙවෙයි. නීතිමය වශයෙන්. නීතිය සැමටම පොදුයි කියන ස්ථාවරයේ ඉඳන්. කවුරු හෝ වරදක් කර තිබෙනවා නම් ඒකට නීතියෙන් දඬුවම් පැනවෙන්න ඕන. ඒ වෙනුවෙන් පරීක්ෂණ කිරීම ඇතුළු පියවර රාශියක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. මේවා බොහෝම සියුම් කාරණා. සමහර ඒවා රටවල් දෙකක සිදුව තිබෙන ගනුදෙනු. රටවල් අතර නීති වෙනස්. තොරතුරු ගන්න ගියාම ගැටලු මතුවෙනවා.
සමහර තැන්වලදී සාක්ෂි සියල්ල විනාශ කරලා. එක වකවානුවකදී පොලිස් පොත්වල ලියපුවා පවා නැති වෙලා. එවැනි තැන්වලදී කටයුතු කිරීම දුෂ්කර වී තිබෙනවා. මුල්ම සාක්ෂි නැති වුණාම කටයුතු කිරීම හරිම අපහසුයි. ඒත් බොහෝ තැන්වලදී ගොඩක් හොඳ මට්ටමකට අපි පැමිණ සිටිනවා. ඉදිරියේදී ඒවායේ ප්‍රතිඵල එනවා. කවුරුත් කතා නොකළට පවරපු නඩු රාශියක් තිබෙනවා. නඩු ඇසීම වේගයෙන්, කඩිනමින් සිදු නොවීමයි ප්‍රශ්නය. මේ කටයුතු කඩිනම් කිරීමට පියවර කීපයක් ගෙන ඇති බව කියන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තිබෙනවා. සැමටම සාධාරණය ඉටු කිරීමට යන ගමනෙදි මේ වැඩවලට දීර්ඝ කාලයක් යන නිසා ජනතාවට අසාධාරණයක් වෙන බව කීමත් සාධාරණයි.

 බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට පැහැදිලි ස්ථාවරයක ආණ්ඩුව ඉන්නවා ද?

අනිවාර්යයෙන්ම. පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. එ.ජා.ප.යත් ඒ ස්ථාවරයේ ඉන්නවා.

 මීට ඉදිරිපත්ව ඇති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක වී නැහැ. ඒ ඉරණම මේකටත් අත්වේ ද?

ඒ ඉරණමම මේකට අත්වෙන්න බැහැ. ඒ වගේම ඒ වාර්තා නිර්දේශවලට වෙනම ඉරණමක් අත්වෙන්නත් බැහැ. ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඕන.

බැඳුම්කර වාර්තා බෝලය නීතිපතිට පාස්කර එජාපය ඇඟ බේරාගන්න ද හදන්නේ?

තවම අපිවත් වාර්තාව දැකල නැහැනේ. මේක ජනාධිපතිතුමාගෙ කොමිෂන් වාර්තාවක්. එජාපයට ඒක පාස් කරන්න බැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. රජයක් වශයෙන් යම් යම් පියවර ගන්න පුළුවන්. මේ නිර්දේශ අනුව සමහර පරීක්ෂණ අරඹන්න පුළුවන්.

 තමන්ගේ කඩුවට කැපෙන අය ගැන ජනාධිපතිවරයා ඉඟි පළ කළා. මේ කඩුවට එජාපයම කැපේවි ද?

ජනාධිපතිතුමත් අපිත් එකට වැඩ කරනවා. ගිවිසුම අවසන් බව ශ්‍රීලනිප සමහර ඇමැතිවරු කියනවා. ඒත් අපි තවමත් කටයුතු කරගෙන යන්නේ ජනතාවට දීපු පොරොන්දුව අනුවයි. ජනාධිපතිතුමා දැක්වූ අදහස මොකක් ද කියන්න දන්නෙ නැහැ. අපි හරි දේ කළොත් කැපෙන්න ඕන නැහැනේ.

මොනවා කිව්වත් ජනතාව ඉන්නේ අමාරුවෙන්. මේ තත්ත්වය යටතේ ඡන්දය ජයගන්න එජාපයට පුළුවන් ද?

අපි ජයගන්න බව පැහැදිලිව කියන්න පුළුවන්. මැතිවරණය නිසා අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා නැහැ. මේක ගමේ මැතිවරණයක්. එහෙත් වැදගත් මැතිවරණයක්. අවුරුදු දෙකක් අපි වැඩ කළේ ගමේ ආණ්ඩුව නැතුවයි. ඒ අඩුපාඩුව අපට හොඳට දැනුණා. ඩෙංගු උවදුර වෙලාවෙ මේ මන්ත්‍රීවරු සිටිය නම් වැඩ කඩිනම් කරගන්න තිබුණා. අපි ගමට මුදල් යොදවනවා. හැබැයි සියල්ල වියදම් කරලා නැහැ. ගමේ මන්ත්‍රීවරයෙක් සිටිය නම් ඒ දේ වෙනවා. අපි ඉන්නේ ආණ්ඩුවේ. අපේ මන්ත්‍රීවරු සිටියොත් වැඩියෙන් ගමට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ බහුතරය ඉන්න පක්ෂයට තමයි ගමේ ආණ්ඩුවත් ලැබෙන්නේ. මේක සාමාන්‍ය සූත්‍රයක්. අපි ගොඩක් වැඩ කර තිබෙනවා.
කලක් රාජපක්ෂ ආණ්ඩුව පාරවල් හදලා ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ ආණ්ඩුව වැටෙන්නත් ඒ පාරවල් හේතුවක් වුණා. මේ පාරවල් නැවතුනේ නැහැ. හැබැයි මේවායේ කොන්ත්‍රාත් කළ කෙනා හැදුණා. සාමාන්‍ය ජනතාවට වැඩක් වුණේ නැහැ. දැන් අපට මුල ඉඳන්ම පාරවල් හදන්න වෙලා. අපි කරන්නේ ඒක විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය හරිහැටි කළමනාකරණය කරනවා. ණය බර පාලනය කරගෙන තිබෙනවා. රටට ආදායම් වැඩිකරගෙන රට දියුණු කිරීම කරගෙන එනවා. මේක ලේසි නෑ. අපි ගෙවන්නේ පසුගිය ආණ්ඩුවේ පව්. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු අංශ දියුණු කරනවා. මේ කාලයට අවශ්‍ය දේ කරනවා. පාසල් යන දරුවන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අපට හැකිවී තිබෙනවා. අපි කිසිවක් නතර කරල නෙමෙයි අනෙක් දේවල් කරන්නේ. බෙහෙත් මිල කොයි තරම් අඩු කළා ද. මූලික ප්‍රතිකාර සහිත 1990 ගිලන් රථ සේවාව ගමට ගෙන ගියා. මේක මුළු රටේම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිසිය ගැන විශ්වාසයක් නැති කාලයක් තිබුණා. දැන් ඒක වෙනස්. හැබැයි මේක බොහෝ අයට අමතකයි. 2015 මැතිවරණයේදී පොලිසිය කෙළින් සිටි නිසා වෙනසක් කරන්න ජනතාවට අවස්ථාව ලැබුණා. එතැන් පටන් අපි පොලිසිය දියුණු කළා. ස්වාධීනව හරි විදියට කටයුතු කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නත් ක්‍රමයෙන් විසඳමින් සිටිනවා.

ආණ්ඩුව හැටියට එජාපය ජය ගන්නා බව ඔබලා කියනවා. ඔය කතාවම ආණ්ඩුවේ ඉඳගෙන ශ්‍රීලනිපයත් කියනවා නේද?

තමන් දිනන බව ජවිපෙත් කියනවා. එත් කවද ද දිනල තියෙන්නේ? ශ්‍රීලනිපය දෙකට බෙදිලා. බෙදුන තැනක් ඉදිරියට යන්නේ නැහැ. රටක් වශයෙන් වුණත් බෙදුනොත් ඉදිරියට යන්න අමාරුයි. දේශපාලනයෙන් අපේ රටේ වෙනසක් වෙන්න ඕන දෙයක් තිබෙනවා. ඡන්දෙ කාලෙට බෙදිල වැඩ කළාට පාර්ලිමේන්තුවේ වැඩ කරන ක්‍රම තිබෙනවා. මේක පෙරළන්න හන්දි ගානේ කතා කිරීම රටට කරන විනාශයක්. වෙන රටවල් දියුණු වෙලා තිබෙන්නේ එකට වැඩ කිරීමෙන්. ඒත් ඡන්දය පැරදුණු වෙලාවේ ඉඳන් මහින්ද මහත්තය කළේ හන්දි ගානේ උද්ඝෝෂණ කරවීමයි. ඒ මොන අභියෝග තිබුණත් රට ඉදිරියට ගෙන යන්න අපට හැකි වී තිබෙනවා. ඉදිරි වසර දෙකේදී මේ ගමන මීට වඩා වේගවත් වේවි.

 පොහොට්ටුව නම් බලවත් බව කියනවා. මේක අභියෝගයක් නොවෙයි ද?

සෑම මැතිවරණයකදීම ප්‍රතිවාදීන් තර්ජනයක් නෙමෙයි කියා සිතුවොත් ඒක අපේ දුර්වලකමක්. අපිට තිබෙන තර්ජන මොනවා ද කියා අවබෝධ කරගන්න ඕන. ඒවාට අවශ්‍ය පියවර ගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය ඒ අනුව සකසාගෙන මහන්සිවෙලා තමයි දිනන්න යන්නේ. තර්ජන නැතිව අභියෝගයක් නෑ. අභියෝග නැතිව දේශපාලන ගමනකුත් නෑ. තර්ජන, අභියෝග සෑම දෙයකටම මුහුණ දෙන්න අපි ලෑස්තියි.

 සාගලට ඕන හැටියට පොලිසිය හසුරුවනවා කියන චෝදනාව ගැන මොකද කියන්නේ?

ඇමැති හැටියට පොලිසිය බාරව ඉන්න රජයේ නියෝජිතයා මමයි. නිවැරැදි ආකාරයට රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. වැරැදි විදියට නෙමෙයි. ඔය ප්‍රශ්නය අහන්න ඕන මගෙන් නෙමෙයි. පොලිසියෙන්. ඒ අය පිළිතුරු දේවි.

 ඔබේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් වෙන්නේ සාගලට ඕන හැටියට පොලිසිය හැසිරවීම නිසා නෙමෙයි ද?

සෑම අමාත්‍යාංශයකටම වගේ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. මගේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත්වීම ගැන මම සතුටුයි. මේක ලොකු අමාත්‍යාංශයක්. සමහරවිට එක වෙලාවට තැන් දෙකක මට ඉන්න බැරි වෙනවා. තවත් කෙනෙක් සිටියොත් මට හයියක්. අපි කරන්න යන දේ ගැන සෑම මොහොතකම අගමැති තුමාටයි ජනාධිපතිතුමාටයි වද කරන්න මට බැහැ. ඒව ගැන කතා කරන්න තව කෙනෙක් සිටීම හොඳයි.

හැබැයි දෙන්නා පක්ෂ දෙකෙන්. කඹ ඇදීමක් වෙන එකක් නැද්ද?

ඒක දැනගන්න ඕන එතුමයි, මායි. අපි දෙන්න අතර එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එක ගමේ. එතුමටත් මටත් වැඩ කර හොඳ පළපුරුද්දක් තිබෙනවා.

 ඔබේ රාජ්‍ය ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට ගාල්ලේදී බැණ වැදී වැඩ අල්ලා තිබුණා. ඇමැති හැටියට ඔබ මොකද කියන්නේ?

එහෙම එකක් පත්තරවල තිබෙනවා මමත් දැක්කා. අපි ඒ ගැන කතා කළා. අපි වැඩ කරන විදිය එහෙම නෙමෙයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට තරාතිරමක් නෑ. එතුමත් ඒකට එකඟයි. මේ කාලයේ සැර ටිකක් අඩු කරන්න බැරි දි කියා ඡන්ද අපේක්ෂකයන් මගෙන් අහනවා. හෙල්මට් නැතිව යන්න, වේගයෙන් යන්න පොඩි චාන්ස් එකක් දෙන්න බැරි ද අහනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. ජීවිත වටිනවා. අපේ අය වෙනත් රටවල වැඩ කරනවා. මේ සෑම රටකම නීතිය අකුරට ක්‍රියාත්මකයි. නීතිය ලිහිල් කරන්න කියා ඒ රටවල අය කියන්නේ නෑ. ලස්සනට ඒ නීතිය තුළ ජීවත් වෙනවා. තමන්ගේ රටේ නීතිය ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? නීතිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක අපේ වගකීමක්.
පොලිසියත් ජනතාවට හිරිහැර කරන්න බෑ. මානුෂීය පැත්තක් තියෙන්න ඕන. මේක බොහොම සියුම් කාරණයක්. ජනතාවට සේවය කරන්න ඕන. ඒත් වද දෙන්න හොඳ නෑ.

 පාතාල ප්‍රශ්නය නිතර කතා වෙන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇයි?

පාතාලය මර්දනයට ලොකු දැලක් දාලා තිබෙනවා. ඒ බව දැනිලා දැන් සමහරු රට පනින්න පටන් අරන්. ඒත් වැඩිකල් ඒ අයට ඉන්න බැහැ. අපි මේක ඉවර කරනවා. කුඩු සහ පාතාලය එකට යන්නේ. මේ කිසිවකට ඉඩ දෙන්නේ නෑ. මර්දනය කරනවා.

අල්ලන මත්කුඩුවලට වෙන්නේ මොකක් ද කියන ප්‍රශ්නය තිබුණා. ලබන 15 වැනිදා මහජනයා ඉදිරියේ මත්කුඩු කිලෝ 1000ක් පුළුස්සනවා. මේක වෙන්නේ පියවර දෙකකින්. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සහභාගි වෙනවා. පළමු පියවර කටුනායකදී ක්‍රියාත්මක කරනවා. පාතාලයට, කුඩුවලට ඉඩක් දෙන්නේම නෑ.

 

lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here