අසභ්‍ය චිත්‍ර කතා නිසා සමස්ත චිත්‍ර කතා මාධ්‍යයම බිඳ වැටුණා – සරත් මධු

0
325

ඔහු වෘත්තියෙන් විද්‍යා ගුරුවරයෙකි. සරල චිත්‍ර කතාවකින් මිනිස් සිත් වඩාත් සංවේදී කළ හැකි බව ඔහු දැන සිටියේ නැත. ඉරිදා ලංකාදීප පුවත්පතේ නිදහස් චිත්‍ර කතා ශිල්පියෙකු ලෙසින් සරත් බැද්දගේ පුවත්පත් කලාවට එක් වූයේ හැත්තෑව දශකයේය.
ධර්ම ශ්‍රී කල්දේරාගේ “රාජ උදහස” නමැති කතාවට පණ ‍පොවමින් සරත් බැද්දගේ චිත්‍ර ශිල්පියෙකු ලෙස මුල් වරට මතුවිය. ඔහු චිත්‍ර කතා අඳින්නට පටන් ගත්තේ එලෙසිනි.

එහෙත් මුළු රටම ඔහු හඳුනා ගත්තේ ‘සතුට’ චිත්‍ර කතා පුවත්පතෙනි. සතුට නමින් චිත්‍ර කතා පුවත් පතක් මුල් වරට දොරට වඩිද්දී එය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. “සතුටේ” යුනිකෝ නමැති වීර චරිතයට ආරූඪ වෙමින් සරත් බැද්දගේ සරත් මධු විය.
සරත් මධු කියූ පමණින් බාල තරුණ මහලු කාටත් සිහිවන්නේ ඔහුගේ අතින් හැඩ වූ “ඉතින් ඊට පස්සේ” නැමති චිත්‍ර කතා මාලාවයි. සිත්තර පුවත්පතින් දේදුන් කැළුම් නැමති ආදරවන්තයින් ජීවමාන කරන්නට සරත් මධු මානව රූපය ඉතා මැනවින් යොදා ගත්තේය.

ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතා යුගය එකවරම බිඳ දමමින් පාඨක ජනතාව අතරින්ම ඒ සඳහා විරෝධය මතුව ආවේය. පාඨක සිත් සතුටට පත් කළ චිත්‍ර කතා කෙරෙහි එවන් විරෝධයක් මතුව ඒමට ප්‍රබල ලෙසම බලපෑ සාධක වූවේ අසභ්‍ය චිත්‍ර කතා පුවත්පත්ය.
“‍ලේක් හවුස් ආයතනයෙන් මුල් වරට නිකුත් කළ “සතුට” චිත්‍ර කතා පුවත්පත ලක්ෂය ඉක්මවා අලෙවි වුණා. මිනිස්සු එකල චිත්‍ර කතාව වැළඳ ගත්තේ ලොකු ආදරයකින්. සරල මාධ්‍යයකින් පාඨක සිත කොතරම් ආකර්ෂණය කළ හැකිද යන්න මම හොඳටම දන්නවා. කැමිලස් පෙරේරා සමග එක්ව සිත්තරා පුවත් පත කරද්දී ‘දේදුනු’ කැළුම් චරිතවලට පාඨකයා ආදරය කළේ තමන්ගේම කරගෙන. චිත්‍ර කතා පත්තර ගෙදර ගෙනිච්ච, ඒ කා‍ලේදීමයි අසභ්‍ය චිත්‍ර කතා ඒ අතරට එක්වුණේ. චිත්‍ර කතා පත්තර වලට තිබුණු ඉල්ලුම නිසා වඩාත් උපයන්න හිතාගෙන සමහර පුවත්පත් ආයතන අසභ්‍ය චිත්‍ර කතා සමාජගත කරන්න උත්සාහ ගත්තා. එයින් සිද්ධ වුණේ සමස්ත චිත්‍ර කතා පුවත්පත් මාධ්‍යයම බිඳ වැටීමයි.

පත්තර ලෑල්ලෙන් චිත්‍ර කතාවක් මිලදී ගන්න පාඨකයින් ආයෙත් ආවේ නැහැ. චිත්‍ර කතා තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වෙමින් තිබුණේ ඒ සරල රස වින්දන නිසාමයි. පාසල් දරුවන් පවා තමන්ගේ වීරයින් ලෙස ‘යුනිකෝ’ “නිව්රෝට” ආදරය කළා.
එහෙත් මේ අසභ්‍ය චිත්‍ර කතා රැල්ලත් සමග දරුවන්ගේ සිත් දූෂ්‍ය වෙයි කියන බය වැඩිහිටියන් තුළ පැහැදිලිවම ඇති වුණා. විරෝධය ප්‍රතික්‍ෂේපය සමස්ත චිත්‍ර කතා පුවත්පතටම බලපෑවා. එහෙමයි ජනප්‍රිය චිත්‍ර කතා යුගය එකවරම නිමා වුණේ.
හරියට අහසේ දීප්තිමත් තාරුකා බැබලිලා එකවර බිමට කඩාගෙන වැටුණා වගේ සියල්ල අවසන් වුණා.”

සරත් මධුගේ හඬ බිඳුණු සෙයකි. රටක් කතා බහ කළ ආදරයෙන් වැළඳ ගත් චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනකු අද නිහඬය. කිහිප දෙනක් පමණක් ඉතා කුඩා වපසරියක තම කාර්යභාරය ඉටු කරමින් සිටිති.
“මම විද්‍යා ගුරුවරයෙක්. චිත්‍ර කතා අඳින යුගයෙත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය පිටයි මම ඒ කලාවට පිවිසුනේ. චිත්‍රයෙන් බොහෝ දෑ කළ හැකි බව අදත් මා දකිනවා. දරුවන්ගේ අධ්‍යාපනයට චිත්‍රයෙන් බොහෝ දෑ කළ හැකියි.

මම අත්දැකීමෙන්මයි කතා කරන්නෙ. විද්‍ය විෂය බොහෝ සිසුන් අතර ජනප්‍රිය විෂයක් ‍නෙවෙයි. නමුත් මගේ සිසුන් ඒ විෂයට ආකර්ෂණය කරගන්න මට උපක්‍රමශීලී විය හැකියි. ප්‍රධානම උපක්‍රමය තමයි මගේ චිත්‍රය. උදාහරණයක් ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතිය එකවර මනසට යන්නෙ නැති වුණත් මම එය චිත්‍රයට නගා පෙන්නුවාම මගේ ශිෂ්‍යයින් බොහෝ දෙනකුට එය හොඳින් මතකයි. වචනවලට වඩා චිත්‍රයෙන් මම ඔවුන්ට විෂය කා වද්දනවා.
සෑම ගුරුවරයෙකුටම චිත්‍ර අඳින්න බැරිවෙන්න පුළුවන්. නමුත් රූපසටහන් මගින් විවිධ චිත්‍ර මගින් ඕනෑම විෂයක් වඩාත් සාර්ථකව දරුවාගේ මනසට ඇතුළු කළ හැකියි. ඒ සඳහා පාසල් පද්ධතිය ක්‍රියාත්මක විය යුතුයි. චිත්‍රය අපගේ මනසට කතා කරනවා.”

චිත්‍ර ශිල්පය ආදි මානව යුගයේ සිට මනුෂ්‍යයා හා බැඳී පවතින්නේය. එහි ඇති ප්‍රබලත්වය මනුෂ්‍යයා ගල් යුගයේ සිටම දැන සිටි බව නොරහසකි. ගල් ලෙන්වල චිත්‍ර අඳිමින් තම හැඟීම් ප්‍රකාශ කළ ඔවුහු පුරාතන ශිෂ්ටාචාරයේ මතකයන් අද්‍යතන යුගයට ඉතිරි කළෝය. චිත්‍ර කලාව වඩාත් ප්‍රබල එහෙයිනි.
“චිත්‍ර කලාවේ තියෙන වටිනාකම තමයි එය. ‍පොදුවේ සියලු දෙනාටම ඇමතිය හැකි මාධ්‍යයක් වීම අපි හිතමු. ජාතික පුවත්පතක් කියවන පාඨකයා කුඩා කාටුන් චිත්‍රයේ ඇති හාස්‍ය දුටුවා කියලා. සමහර විට එදිනෙදා ජීවිතයේදී ඇතිවන දේශපාලනික සමාජයීය ආර්ථික වටපිටාවේ ලොකු කතාන්දර කාටුන් ශිල්පියා කුඩා රූපයකින් පෙන්නුම් කරනවා. මිනිසුන් එය රස විඳිනවා. නෙතේරුණු දේශපාලන කතා බහක් පුළුල් මනසකින් වටහා ගන්න සාමාන්‍ය ජනතාවට හැකි වනවා. චිත්‍රයේ ඇති ප්‍රබලත්වය එයයි.

කවියට කෙටිකතාවට නවකතාවට මනෝ භාවයන් හා එක්ව කටයුතු කළ හැකි පරිකල්පන ශක්තීන් චිත්‍රයේදී සෘජුවම පෙන්නුම් කළ හැකියි.
බෞද්ධ සාහිත්‍යය අරන් බලන්න. ජාතක කතාව රස වින්දන සාමාන්‍ය ගැමියා ගමේ පන්ස‍ලේ ඇති චිත්‍ර දෙස බලමින් කතාව තවත් අවබෝධ කර ගන්නවා. හාමුදුරුවෝ අපාය ගැන දේශනා කරද්දී ඒ ගැන අවධානයෙන් නොසිටින ශ්‍රාවකයා බුදු මැදුරේ චිත්‍රනය කරන ලද අපාය දුටු විට වඩාත් කම්පනයට පත්වෙනවා. ඔවුන් නොදකින අදෘශ්‍යමාන ලෝකය චිත්‍ර ශිල්පියා මවා පෙන්වනවා.

ඉතිහාසය දැනගන්න මහාවංශය වගේම චිත්‍ර කලාවෙනුත් බොහෝ දෑ ඉතිරි කළා.”
සෝලිස් මාස්ටර් කැළණිය විහාරයේ ඇඳි චිත්‍ර මට එක්වර සිහිපත්විය. අප්‍රමාණ භක්තියකින් යුක්තව බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරන බොහෝ බෞද්ධ පන්සල්වල ඇඳුනු චිත්‍ර සටහන් සමූහයකි. මනුෂ්‍ය ආත්මය වඩාත් කම්පනය කරවීමට ශ්‍රද්ධාවෙන් ඇළලීමට සිතුවමකට කොතරම් දෑ කළ හැකිද?
“තාක්ෂණය දියුණු වීමත් සමග මිනිස් මොළය යාන්ත්‍රික වෙලා ගුරුවරයෙක් විදියට මං ඒ බව දිනපතාම අත් විඳිනවා. අද පාසල් යන දරුවන්ගේ ක්‍රියාකරකම් ‍පොත පතට පමණක් සීමා වෙලා. විෂය බද්ධ කරුණුවල තනි වුණු ඔවුන් කලාවට ආදරය කරන්නේ ඉතාමත් අඩුවෙන්.

මොළයේ ක්‍රියාකාරීත්වය වඩාත් ප්‍රබෝධමත් කරන්න පරිකල්පන ශක්තියට බොහෝ දෑ කළ හැකියි. දරුවෙකුගේ කුඩා වියේදී වුණත් බුද්ධි වර්ධනයට සිතුවමකින් කළ හැකි මෙහෙය අපමණයි. මොළයත් අතත් අතර සුවිශේෂී සම්බන්ධයක් තියෙනවා. අප මනසට එන හැඟීම කිසියම් හෝ කලා මාධ්‍යයකින් ප්‍රකාශයට පත් කිරීම තුළට නිර්මාණශීලී මිනිසෙකු බිහි කිරීමේ ඉඩ හසර හැදෙනවා.

කලාකාරයෙක් විදියට විතරක් නොවෙයි මනුෂ්‍යයෙක් විදියටත් මං දැඩිව වේදනාවට පත්ව සිටිනවා අද පවතින සමාජ විෂමතාවන්් ගැන.
පාස‍ලේ චිත්‍ර අඳින ගුරුවරුන්ට දැන් හරියට මානව රූපයක්වත් ඇඳ ගන්න බැරි අවස්ථා තියෙනවා.
චිත්‍ර විෂයක් විදියට අව භාවිතාවට වැටිලා. චිත්‍ර වලට ආශා කරන දරුවෙක්වත් දැන් චිත්‍ර කලාව විෂයක් විදියට තෝරා ගනියි කියලා බලා‍පොරොත්තු තබා ගන්න බැහැ.

චිත්‍ර ශිල්පියෙක් විදියට අපේ හැකියාවෙන් ප්‍රයෝජනයක් නොගෙනම නිහඬ වෙලා යන එක ගැන මට ඇත්තටම සංවේගයක් තියෙනවා. එදා චිත්‍ර ශිල්පියෝ විදියට සමාජයේ නමක් දිනූ බොහෝ චිත්‍ර ශිල්පීන් නිහඬයි. කීප දෙනෙක් පමණක් ජාතික පුවත්පත්වල ඉතාමත් සීමිත කාර්යයක නිරත වෙනවා.

දයා රාජපක්ෂ, බන්දුල හරිස්චන්ද්‍ර, තලංගම ජයසිංහ සුසිල් ප්‍රේමරත්න, අනුර විජේවර්ධන ජනක රත්නායක වැන්නවුන් චිත්‍ර ශිල්පීන් අතර විශිෂ්ඨයන්් ලෙස හඳුන්වන්න මං කැමතියි. තමන්ගේ චිත්‍රයෙන් ඔවුන් ජනතාව ආකර්ෂණීය කළා.”
සරත් මධු අතීතය සම්බන්ධයෙන් තෘප්තිමත් වුවද පවතින සමාජ රාමුව තුළ චිත්‍ර ශිල්පියෙකු ලෙසත් මතුවීමට නොහැකි වීම ගැන පීඩාවට පත්ව සිටින සෙයකි.
“මෑතකදී වික්ටර් රත්නායක ඕස්ට්‍රේලියාවෙහි සංගීත ප්‍රසංගයක් කළා. එහිදී ඔහු අජන්තා රණසිංහ ලියූ ‘ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ’ නමැති ගීතය ගායනා කළා. පසුබිමෙන් මම දේදුනු කැළුම් චිත්‍ර අඳින හැටි පෙන්වන්න සංවිධායකයින් මා හමුවට ඇවිත් රූප රචනයක් ඉල්ලද්දී ඇත්තටම ඇති වූ සතුට අපමණයි. තවමත් රසික සිත් තුළ මා සිටින බව දැනුණා.

“ඉතින් ඊට පස්සේ” චිත්‍ර කතාව ස්වාධීන රූපවාහිනියේ තිරගත වෙද්දී ඒ සඳහා නූතන තරුණ පරපුර ආකර්ෂණය වීම තුළ මා අසීමිත සතුටක් වින්දා. “ඉතින් ඊට පස්සේ” ටෙලි නාට්‍යය ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස සම්මාන දිනද්දී චිත්‍ර ශිල්පියෙකු ලෙසින් මා මැවූ පුංචි ලෝකය යළිත් ජයග්‍රහණය කළ බවක් දැනුණා.

එවැනි සුන්දර මතක සැමරුම් අදටත් මා ප්‍රබෝධමත් කරනවා. සරල සුගම අහිංසක ආදර කතාවක් දශක කීපයක් තිස්සේ එක ලෙසම ජනප්‍රිය වීම එහි නිර්මාතෘ ලෙසින් මට ගෙන එන්නේ අපමණ තෘප්තියක්.

ඒත් මැරෙන්න ඉස්සර අපි ගාව තියෙන හැකියාව යහපත් දෙයකට යොදා ගන්නවා නම් මට ඒක ලොකු සැනසීමක්. අධ්‍යාපන ‍පොත්පත් අතරට හෝ ගහක් ගලක්වත් අඳින්න ලැබෙනව නම් උපතින් ලැබුණු මේ හැකියාව ගැන සතුටු වෙන්න පුළුවන්.
මිනිසුන්ගේ සිත් ආදරයෙන් ඇඳ බැඳ තබා ගැනීමට සරත් මධු නම් චිත්‍ර ශිල්පියා කළේ ඉතාම කුඩා කාර්යභාරයකි. අසූව දශකයේ ඇඳි චිත්‍ර කතා අදටත් සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ නොමැකී පවතී. ඔවුහු සතුටින් රස වින්ද සරල චිත්‍ර කතා තුළ තිබූ ආදරය, දයාව, පාඨක සිත් අදද කම්පනය කරති. සරල මාධ්‍යයකින් පාඨකයින්ට යළිත් කතාබහ කරන්නට ඇත්නම් යන අහිංසක සිහිනය පමණක් ශිල්පියා තුළ අදටද ඉතිරි වී ඇත.

(ධර්මා මොහොට්ටාල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here