කල්ලි සටන් ඇරඹේ – ධම්ම දිසානායක

0
219

ඇදි ඇදී තිබුණු ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය ට දින නියම වුයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ බරපතළ සාකච්ඡාවකට වඩා ඒ ඒ කල්ලිවල ප්‍රාදේශීය සහ ජාතික බලය උරගා බැලීමේ උනන්දුව දැඩිව පවතින මොහොතකය. පක්ෂ ක්‍රමය විනාශවී සහචර කල්ලි විසින් ප්‍රාදේශීය, පළාත් සහ ජාතික දේශපාලන බලය අත්පත් කරගැනීමේ හෝ පැහැර ගැනීමේ ක්‍රමය මේ ගෙවා දමන්නේ අවුරුදු හතලික පමණ වයසක් ය. එවැනි පසු බිමක පක්ෂ කැඩී නව පක්ෂ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර යැයි ‘ඉරිදා ලංකාදීපය’ට මා කල තරමක ව්‍යුක්ත ප්‍රකාශය එනම් මේ මොහොතේ ලංකාවට අදාළ නැති ප්‍රකාශය කීප දෙනෙකුගේ අවධානයට ලක් වූ බව දැනගත්තේ මිතුරන් කීප දෙනෙකුම ඒ ගැන විමසු නිසා ය. ඒ නිසාම නොව මේ ගැන වඩා පුළුල්ව විමසා බැලිය යුත්තේ එසේ හිතකර වන්නේ කවර දේශපාලන සමාජ පසුබිමකද යන්න පිලිබඳ අපගේ පාඨකයින් සමඟ සාකච්ඡා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් හිතකර නිසාය.

මා දකින ආකාරයට පක්ෂ කැඩී යෑම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වන්නේ පක්ෂ ක්‍රමය මත එනම් පක්ෂ ප්‍රතිපත්ති සහ පක්ෂ සංවිධානය මත දේශපාලන සමාජය කටයුතු කරන පසුබිමකය. එසේ නොවන පසුබිමක පක්ෂ කැඩී යෑම ධනපති දේශපාලනයට උදව්වක් මිස වාම ප්‍රගතිශීලී දේශපාලනයට හිතකර නොවන බව අප අවබෝධ කරගත යුතු ය.

මෙරට ධනපතීන් ට දේශපාලන පක්ෂයක් නැත. ඔවුන්ට එවැන්නක් අවශ්‍යද නැත. ඊට හේතුව පවතින සියලුම හෝ බොහෝ දේශපාලන කල්ලිවල සහ අතලොස්සක් වූ පක්ෂවල තම සහචර ඒජන්තයින් රැඳවීමේ අතිශයින්ම පහසු හැකියාවක් ඔවුන් සතු නිසාය. එසේම ඕනෑම කල්ලි පක්ෂයක අයෙකු මිළට ගැනීමේ හැකියාව ඇති නිසාය. ඒ පළමු හේතුව ය. අනෙක් හේතුව වන්නේ පාරිශුද්ධ වාමවාදීන්, සමාජවාදීන් සහ මාක්ස්වාදීන් යැයි නම් ලද පක්ෂවල නායකයින් පවා තම සහචර ධනේශ්වර අභිලාශ වෙනුවෙන් මෙහෙයවීමට මෙරට ධනපතීන්ට සහ ඔවුන්ගේ ඒජන්ත දේශපාලකයින්ට හැකියාව ලැබීමයි. එසේම කිසිදු බාධාවකින් තොරව ඒ හැකියාව ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ ලබාදීමට එකී වාමවාදී, සමාජවාදී සහ මාක්ස්වාදී පක්ෂ සැදී පැහැදී සිටීමයි.

නමුත් කලක්, එනම් නිදහස ලැබී දශකයක් පමණ කාලයක් ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ පසු කාලීනව එනම් පළමු ආණ්ඩු විරෝධී සන්නද්ධ කැරැල්ලෙන් පසු දශක දෙක හමාරක පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ තම මුලධාර්මික පදනම් ආරක්ෂා කර ගැනීම සඳහා පක්ෂ දේශපාලනය විධිමත්ව නඩත්තු කරමිණි. ඔවුන් දේශපාලන තීන්දු තීරණ ගනු ලැබුවේ අඩුම තරමින් තම පක්ෂවල බහුතර එකඟතාවය මතය. නායකයාට හෝ නායකයින්ට තනි තීරණ ගැනීමට ඉඩ දුන්නේ නැත.

නමුත් පසු කාලීනව මේ වාම පක්ෂ ධනපති සහචර දේශපාලන කල්ලි සමඟ එකඟතාවලට එළඹෙන්නේ තම පක්ෂවල මුලධාර්මික පදනම් සහ අරමුණු කෙරෙහි කිසිදු ගෞරවයක් නැති බාලයන් ලෙසිණි. ක්‍රමානුකූලව රට තුල වර්ධනය වූ දේශපාලන පිරිහීම මීට බලපෑ බව ඇත්තකි. එහෙත් මේ දේශපාලන පිරිහීමට ධනපති කල්ලි සේම වාම දේශපාලන පක්ෂද වගකිව යුතුය. මන්ද තම පක්ෂ තමන් විහින් ම පිරිහෙලාගෙන ධනපති සහචර කල්ලිවලට ආ වැඩීමට වාම පක්ෂ පේ වීම නිසාය. එසේම පොදු ජන සමාජයට දේශපාලන සාක්ෂරතාව ලබාදී ඒ පිරිහීමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය විඥානය ලබාදීමේ කාර්යයෙන් වම කර ඇරිය නිසාය.

ලෝකයේ ‘දියුණු’ සහ බලවත් වූ බොහෝ රටවල් ඒ තැනට පත් වුයේ එක්කෝ විධිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක අනුහසින් ය. එක්කෝ දුරදක්නා නුවණින් (visionary) යුත් තනි පුද්ගල නායකයෙකුගේ අනුහසින් ය. එක්කෝ දුරදක්නා නුවණින් යුත් තිරසාර වැඩපිළිවෙලක් මෙහෙයවූ සාමුහික නායකත්ව මණ්ඩලයක් නිසාය. එක්කෝ සම්ප්‍රධාය සහ නවීනත්වය මනාව ගලපන ලද ආණ්ඩු ක්‍රමයක් නිසාය. චීනය, රුසියාව, කියුබාව, ප්‍රංශය, ජර්මනිය, සිංගප්පුරුව, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ෆින්ලන්තය, නොර්වේ, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය ඒ සඳහා වූ උදාහරණ කීපයක් පමණි.

ඉහත කවර නම් ප්‍රවර්ගයකට අපේ රට අයත් වේද? අවාසනාවකට ඒ එකකටවත් නොවේ. මේ රට සඳහා නව ප්‍රවර්ගයක් හඳුන්වා දිය හැකිය. එනම් දේශපාලන පක්ෂ ක්‍රමය විනාශ වූ සහචර කල්ලි සටන් උග්‍ර වූ ප්‍රවර්ගය ලෙස එය නම් කළ හැකිය. සහචර ධනපති ක්‍රමය ලෝක පරිමානව බලවත් වී ඇති පසු බිමක බිලියන ගණනින් වූ ජනයා ඒ ක්‍රමයේ අතවැසියන් සහ ගොදුරු බවට පත්වී ඇති පසු බිමක මෙරට ධනපතීන්ට පක්ෂ ක්‍රමයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඒ ඒ සහචර කල්ලි වලට නාමික පක්ෂ සන්නාම පමණකි. එනම් ඔවුන් එකිනෙකාව හඳුනා ගැනීමේ සහ අවශේෂ ජනයා රවටා තබා ගැනීමේ උපකරණයක් වශයෙන් පමණකි.

එහෙත් වාමවාදී ප්‍රගතිශීලී දේශපාලනය ලෝක පරිමානව දුබල වී බිලියන ගණනින් වූ ජනයා අසරණ අනාථ වී ඇති පසු බිමක වාමවාදී පක්ෂ ක්‍රමය විධිමත් සහ බලවත් විය යුතුමය. අර සහචර ධනපති කල්ලිවල පීඩනයට සහ හිතුවක්කාරකමට එරෙහිව වාම පක්ෂ විසින් දුරදක්නා නුවණින් සහ මනා සැලසුම්වලින් යුතුව ජනයා ඒක රාශි කළ යුතුය. ඒ පක්ෂ, සහචර ධනපති කල්ලිවල අත් උදව් කරුවන් නොවිය යුතුමය. එහෙත් ඒ වෙනුවට මෙරට වමට සිදු වී ඇත්තේ පොදුජන සමාජය මත අධිපත්‍යය රැඳවීමට නොහැකි වී තම වාම පක්ෂ ව්‍යුහ නඩත්තු කිරීම සඳහා අර සහචර ධනපති කල්ලිවල සරණ පැතීමය. ඇමතිකම් පැතීම සහ ලැබීම ය. විපක්ෂයේ සංවිධායක කම් ලැබීමය. එක පෙලට ඒ කල්ලි සමඟ සිට ගැනීම ය. ඉනික්බිති ඒ කල්ලි ක්‍රමයට ඔහේ යන්නට ඉඩදී බලා සිටීමය. වමේ එකතුවක් නොව ධනපති කල්ලියක් සමඟ සන්ධාන ගතවන්නේ කවදා දැයි කල් බැලීමය. හිතවත් පාඨකයිනි, වමේ ඉරණම මෙය නම් ඔබේ සහ රටේ හෙට දවස කුමක් වේවි ද?

ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණය සඳහා දින නියම වී ඇති මේ මොහොත ගැන අවධානය යොමු කරන්න. එය ප්‍රාදේශීය ජනයාගේ යහ පැවැත්ම සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ද? එසේත් නැතහොත් ප්‍රාදේශීය සහ ගම් මට්ටමේ චණ්ඩින්, අපරාධ කරුවන්, මං පහරන්නන්, කුලවාදීන්, ආගම්වාදීන් සහ සල්ලිකාරයින් වැනි කල්ලි අතර අශීලාචාර ගැටුමක් ද? ඇත්තටම ඇරැඹී ඇත්තේ මැතිවරණයක් නොව කල්ලි සටන් ය. ඒවාට දේශපාලන මුහුණුවරක් දීමට ගන්නා උත්සාහය විකාර සහගතය. තේරීමට ඉඩක් නැති අලුත් මැතිවරණ ක්‍රමය තුළ කෙසේ හෝ තරමකින් හරි වැඩදායී නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීමේ උභතෝකෝටිකයකට මුළු සමාජයම මුහුණ දී ඇත. ගත යුතු මඟ කුමක් ද?

එහිදී සිද්ධි හෝ ගැටළු මැදි කරගත් දේශපාලන ක්‍රියාමාර්ගයකට යොමුවීම එක් හොඳ පියවරකි. දේශපාලන පක්ෂ ක්‍රමය බිඳ වැටී ඇති මොහොතේ ‘ජනතා ව්‍යාපාර දේශපාලනය’ හරහා පොදු ජන දුක් පීඩාවලට විසඳුම් ලබා ගැනීම සඳහා ඒ උපාය මාර්ගය ඉතා සුදුසුය. මෙහිදී වඩා වැදගත්වන්නේ ව්‍යාජ ලෙස පවතින පක්ෂ සන්නාම වටා ඒක රාශි නොවී මැතිවරණ කොට්ඨාශ සහ ප්‍රාදේශීය මට්ටමේ ඇති සිද්ධි සහ ගැටළු මැදි කර ගනිමින් පොදුජන සංවිධාන පිහිටුවා ගැනීමය. ඒ සංවිධාන විසින් අර කල්ලිවලට සහ කල්ලි ඒජන්තයින්ට බලපෑම් කොට තම ගැටළු සහ දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබාගැනීමට කටයුතු කළ කිරීමය. නෛතික ගිවිසුම්වලට එළඹීම ය. එසේම එවැනි හැකියාවක් ඇති සහ විශ්වාසයක් තැබිය හැකි සේම ගුණාත්මකභාවයෙන් යුත් අයෙකු තෝරා ගැනීමට මෙම සංවිධාන එකඟතාවලට එළඹිය යුතුය. එවිට ප්‍රයෝගකාරී පක්ෂවලට තව දුරටත් ජනයාව මුලාවේ දැමීමට හැකි වන්නේ නැත. මේ ක්‍රමය අවශ්‍ය නම් සිද්ධි/ගැටළු පාදක දේශපාලනය (issues base politics) ලෙස නම් කළ හැකිය. ජාතික, පළාත්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය යනාදී ඕනෑම මටටමකදී මේ දේශපාලනය වැදගත් වන්නේ මෙරට පක්ෂ දේශපාලනය අතිශයින්ම ව්‍යාජයක් වී ඇති නිසා ය. එසේත් නැතහොත් හරි හමන් පක්ෂ ක්‍රමයක් ගොඩ නගා ගන්නා තුරු අනුගමනය කරන්නට වන්නේ මේ ක්‍රමය ය.

උදාහරණයක් ලෙස ගතහොත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට, නගර සභාවට සහ ඇල්ල ප්‍රාදේශීය සභාවට ‘උමා ඔය බහු විනාශකාරී යෝජනා ක්‍රමයට එරෙහි ජනතා ව්‍යාපාරය’ තරඟ කරන්නේ ඉහත කී ආකාරයේ සිද්ධි/ගැටළු පාදක කර ගෙනය. නමුත් මෙවැනි ව්‍යාපාරයකට ආයතනික දේශපාලන බලය අවශ්‍යවන්නේ නැත. එවිට සිදුවන්නේ වගකිවයුතු කල්ලි විසින් ඒ සංවිධානයටම ගැටලුව විසඳා ගැනීමේ වගකීම තල්ලු කොට අත පිසදා ගැනීමය. අවශ්‍ය වන්නේ ජනතා ව්‍යාපාරයක් ලෙස ඒ විනාශයට වගකිවයුතු අයට තදබල ලෙස බලපෑම් කොට විසදුම් ලබාගැනීම සඳහා විධිමත්ව ක්‍රියා කිරීමය. ඒ සඳහා පොදුවේ අවැසි වන්නේ පක්ෂ නැති රටක කල්ලි දේශපාලනයට එරෙහිව සංවිධානාත්මක ජනතා ව්‍යාපාර ගොඩනැගීමය. එනම් ‘යහ පාලනයට’ එරෙහිව ‘යහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගොඩ නැගීමය. ලබන වසර ඒ සඳහා පොදු ජනයා හිතන මතන ක්‍රියා කරන ප්‍රඥාවන්ත වසරක් වේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here