හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව

0
237

රජ්ජුරුවන්ගේ මූණේ වැසූ මැස්සා එළවීමට වඳුරා කළේ මැස්සාට කඩුවෙන් කෙටීමය..මැස්සා එළවීම සාර්ථක වූ නමුත් රජු මළේය. මෙවැනි වඳුරු භාවිතාවේ යෙදෙන මාධ්‍යවේදීන් ද මේ රටේ සිටිති. මැස්සා එලවා ආතල් ගන්නා මේ මාධ්‍යවේදීන් බහුතරයක කුලකය වන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදී කුලකයයි. මේ අය පොරවල්ය..

තමන් විසින්ම තමන් පොරවල් යැයි කියා ගන්නා පිරිසක්ද මෙහි සිටිති ..එහෙමන් නැත්නම් හොරි කසමින් ගිණි පිඹිමින් තමන්ගේ ජේෂ්ඨයාව හෝ සගයාව පොරක් කරති. මේ ගවේශනාත්මක මාධ්‍යවේදීන් අතට පෑන අසුවීම වඳුරන් අතට දැලි පිහිය අසුවූවාට දෙවැනි වන්නේ ද නැත…වඳුරා තමන්ගේ නහය කැපී ගිය විට දැලි පිහිය විසිකර දුව යන නමුත් පොරවල් වෙන්නට සිතා ඉවක් නැතිව එහෙ මෙහෙ වචන විසිකර තමන්ගේම නහය කපා ගත් මාධ්‍යවේදීන් එහෙම පෑන අත ඇර දුවන්නේ නැත. ඒ වෙනසට හේතුව තමන්ගේ නහය කැපී ඇති බව නොදැන සිටීම නොව ඒ ඉවසා සිටියේ නැත්නම් නෝන්ඩි වෙන නිසාය…අවාසනාවට අපට මාධ්‍යවේදීන් කියා කියන්නට සිදුව ඇත්තේ ඔවුන්ටය.

අපේ රටේ දේශපාලකයාට හෝ මේ මාධ්‍යවේදියාට ලැජ්ජාව කියා දෙයක් නැත. දෙපිරිසේම ක්‍රියාකාරිත්වය එකය. කවුරුවත් කාටවත් වග කියන්නෙ නැත. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම බොරු බේගලයක් අත හැර දැමීම මේ දෙපිරිසම කරයි. එහෙත් ඔවුන්ව පිළිගන්නා සමාජයක් ඔවුන් විසින් නිර්මාණය කර ඇති නිසා කිසිවකුත් මේ ජඩ වැඩ අවුලක් කර ගන්නේද නැත…හැමදාම ජනතාවගේ වීරයන් වීමට හැකියාව තියෙයි…

ඌ හොරෙක් වගේ තමයි

මේ හෑල්ල ලියන්නට සිත් වූයේ වංචා දුෂණ හෙළිදරව් කිරීම් ගැන පුවත්පත් වල පලවන බොහොමයක් ප්‍රවෘත්ති හා ලිපි ලේඛන නිසාය. පි‍ටු පුරා ඇඟ කීරී ගැහෙන තඩි සිරසතල යටතේ මේ ලිපි පලවීම සිදුවෙයි. පාඨකයාට ඒවා කියවන විට හරිම සන්ත්‍රාස ජනක හැඟීමක් පහල වේ. ඩොලර් මිලියන බිලියන ගනන වලින් ලොකු ඉලක්කම් දකින විට පපුව හෝස් ගාගෙන යයි.. අම්මට උඩු මූ මාර ගැහිල්ලක්නේ ගහලා තියෙන්නෙ….මූ හොරා කාලා ..ඔව් ඌ හොරා.. ඔව් ඔව් ඌ තමයි හොරා….. කිය කියා ඉස්සර කාළේ, පාලම් බොක්කු කඩමණ්ඩිගානේ මේ පත්තර පාඨකයා කියව කියවා ගියද දැන් ඒක කරන්නේ පොෂ් විදිහටය..ඒ facebook එකේය.. කිසිම පදනමක් හේතුවක් තේරුමක් නැතිව දේශපාලකයා හොරා බවට ජාත්‍යන්තරකරණයට ලක්වීම සිදු වෙයි. මාධ්‍යවේදියාද සිවිල් පොරක් වෙයි. ආයේ ඒ ලෙබල් ගැලවීම පහසු නොවේ…මේ අද දේශපාලනයේ හා මාධ්‍ය යේ තිබෙන අලුත් ප්‍රවණතාවයකි. තමන්ගේ හතුරු පාර්ශ්වයක්, පුද්ගලයකු හොරෙක් අපරාධකාරයෙක් කිරීම දැන් ඉතා පහසු වැඩකි.

මේ නිසා ගවේශනාත්මක නමින් පෙනී සිටින අලුත් තාලේ පත්තරකාරයන්ගේ වුවමනාව මේ පාඨකයා විසින් නොමිලයේම සිදු කර දෙයි….පත්තර කාරයා මේ ලියන්නේ සල්ලි වලට.බෝතලයකට..හෝ වෙනත් ප‍ටු පෞද්ගලික එදිරිවාදිකමකට විය හැකි නමුත් මේ ගැන පාඨකයා කල්පනා කරන්නේ නැත. එහෙමත් නැත්නම් මේ තොරතුරු නිවැරදි ද යන්න ගැන ප්‍රශ්න කරන්නේ නැත. පත්තර කාරයා ගොඩ නඟන තර්ක විතර්ක හෝ තහවුරු කරන්න දඟලන කරුණට අදාලව නිශ්චිත සාක්ෂි හෝ දත්ත සහිතව ඒ සිදු කළාද යන්න ගැන කල්පනා කරන්නේ නැත.. ආ.. පත්තරෙ නේ තිබුණේ… එහෙනම් හරි ඇති.. කියා බාර ගැනීම සිදු කරයි..

දේශපාලකයා හෝ රාජ්‍ය නිලධාරීන් දුෂිතයන් නොවේ යැයි කිසිසේත්ම කිව නොහැකියි.. වර්තමානයේ පවත්වාගෙන යන ක්‍රමවේද තුල වංචාවට දූෂණයට ඕනෑතරම් ඉඩ විවරව තිබේ. දේශපාලකයා හෝ රාජ්‍ය නිලධාරියා ඒ ඉඩෙන් ප්‍රයෝජන ගැනීම සිදු නොකරනවා නම් ඒ ගැන පුදුම විය හැකිය. මේවා හෙළිදරව් කිරීම ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ලියැවී තිබෙන්නෙක්. සමාජයේ පොදු යහපත තකා මේ මාධ්‍යවේදියා විසින් සිදු කළ යුතුව තිබෙන්නෙකි….එහෙත් ඒ හෙළිදරව් කිරීම් සත්‍ය හා සාධාරණ විය යුතු බවත් ලියැවී තිබේ… තමන්ගේ ප‍ටු වුවමනාවන් මත කරුණු හරි හැටි නොදන්නා කම හො හිතළු මත දේවල් ගැන නිගමනය කිරීම වියයුතු නැත. පාඨකයා ට නිශ්චිතව යමක් කියනවා හැර එහෙටත් නැති මෙහෙටත් නැති තොරතුරු ‍රැස්කර මෙන්න මූ හොරා කාලා වගේ…. යැයි ලිවීම ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු සිය වගකීම පැහැර හැරීමකි.

පොහොර ටෙන්ඩර් මගඩිය

පසුගිය දිනවල අරු හොරා මූ, හොරා කියා ලේබල් ගැසූ ඊනියා ගවේශනාත්මක වාර්තා රැසක් පුවත් පත්වල පලවී තිබිණි.. ඒවා විශ්වාස කළ පාඨකයා නොමඟ යෑම මගින් සිදුව තිබෙන විනාශයද සුලු ප‍ටු නැත.. ඒ තබා රටේ රාජ්‍ය නායකයාද පත්තර බලා තීන්දු තීරණ වලට එළබෙන තැනට පත්ව තිබීම මඟින් කියන්නේ රට කෙතරම් බුද්ධි හීනතාවයකින් පෙලෙන්නෙ ද යන්නය. සාක්ෂරතාවය තිබූ පළියට කිසිවකුත් උගතකු හෝ බුද්ධිමතකු වන්නෙ නැත.. තමන් දේවල් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය අනුව ඒ සිදුවෙයි.

ඊයේ පෙරේදා පුවත් පත් කිහිපයකම පොහොර ටෙන්ඩර් මඟඩියක් ගැන ලිපි කිහිපයක් පලවී තිබිණි. මේ ලිපි කිහිපයම සාවදානව කියැවූ විට ඇත්තටම පොහොර ටෙන්ඩරයේ සිදුවී ඇතැයි කියන ටෙන්ඩර් මගඩිය කුමක්ද යන්න සිතා ගත නොහැකිය. එහෙත් දිගින් දිගටම අරූ ..මූ .. හොරා කාලා යැයි සඳහන් වේ. එහෙත් ඒ පිළිගැනීමට නිශ්චිත සාක්ෂි නැත.

පොහොර ටෙන්ඩරය ගැන අප පසුව කළ සොයා බැලීමකදී පෙනී ගියේ මේ පත්තරකරයෝ වෙනත් කාගේ හෝ කීම් බහකට ( ඩීල් එකකට ) මේ පුවත් පල කර තිබෙනවාය යන්නය . බාගෙට ලැබුණු තොරතුරු, නිශ්චිතව නොදන්නා තොරතුරු පදනම් කරගෙන , එහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති.. කියා සඳහන් කිරීම හා ඒවා පදනම් කරගෙන නිගමන ඉදිරිපත් කිරීම හැර ගවේශනාත්මක වාර්තාකරණයක් මේවායේ නැත.

පොහොර ටෙන්ඩරය කියන්නෙ බිලියන් ගනනක ගනුදෙනුවකි. ටෙන්ඩරය ලැබෙන්න එක් ව්‍යාපාරිකයකුට පමණය නොලැබෙන්නෝ හූල්ලති. නැත්නම් ටෙන්ඩරය දුෂිත යැයි කියති. ඇතැම් ව්‍යාපාරිකයන් ඇතැම් නිලධාරීන්ට කොමිස් ගතමනා ලැබිමද සිදුවෙයි..ඒ ව්‍යාපාරිකයට ටෙන්ඩරය නොලැබුණ විට ඒ ගතමනාව නැති වෙයි. ඒකෙ වාඩුව ගන්නේ අභ්‍යන්තර තොරතුරු භාගෙට හෝ විකෘති කර හෝ ඔය පත්තරකාරෙයෙකුට හෝ වෙබ් අඩවියකට සැපයීමය…ඉන් පසු ඒවා ඉවක් බවක් නැතිව, සොයා බැලීමකින් තොරව ,දැන හෝ නොදැන ප්‍රසිද්ධ කරයි..සාමාන්‍යයෙන් වෙන්නේම ඔය ටිකය.

ජැට් හෝල්ඩින්ග්ස් සමාගම

මිට සති කිහිපයකට උඩදී ලියවී තිබුණේ පොහොර ටෙන්ඩරය කලින් සූදානම් කර ගත්තු ව්‍යාපාරිකයකුට ලබා දීමේ සැලසුම ඇතිව එම ටෙන්ඩර් ක්‍රියාවලිය කූට ලෙස සිදු කළ බවය.

ඒ ජැට් හෝල්ඩින්ග්ස් නම් සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම සඳහාය. කෘෂිකර්ම ඇමැතිවරයා, ඒ අමාත්‍යංශ නිලධාරීන්, රජයේ පොහොර සමාගම් දෙකේ නිලධාරීන් මෙම සමාගම සඳහා අදාල පොහොර ටෙන්ඩරය ලබා දීම වෙනුවෙන්ම ටෙන්ඩර් ක්‍රමයද වෙනස්කරමින් මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල විය. නමුත් එම සමාගමට ටෙන්ඩරය නොලැබී ගියේය. තමන්ට ලොකු කොමිස් කුට්ටියක් ලැබේ නම් මේ ටෙන්ඩරය කුමක් හො දහං ගැටයක් ගසා එම සමාගමටම ලබාදීම ඇමතිවරයාට හෝ නිලධාරීන්ට අමාරු වැඩක් නොවේ. මොකද එවැනි ගනු දෙනු ඕනෑ තරම් මේ මෑත භාගයේදීත් සිදුව තිබුණු බැවිනි…ඒවාට කැබිනට් මණ්ඩලය මොකුත් වරදක් කියන්නේ ද නැත…මීට පෙර ගල් අඟුරු ටෙන්ඩරය ගියේ එහෙමය.. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොසලකා හැරිණි.

චෝදනා පුස්සක්

ඒ නිසා මාධ්‍යවලින් කළ චෝදනා නිවැරදි නම් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට මේ ටෙන්ඩරය නොලැබී යාම පුදුමයට කරුණකි. එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර තිබූ ටෙන්ඩර් කොන්දේසි වල කියැවුණේ මෙවර පොහොර ගෙන්වීම පෙර පරිදි ණයවර ලිපි (LC-Letter of Credit)) විවෘත කිරීමන් නොව DA- (Documents Against Acceptance) ක්‍රමයට ගෙන්විය යුතු බවය. DA ක්‍රමයේදී සිදුවන්නේ අදාල බඩු ලැබුණු පසුව මුදල් ගෙවීමයි. එය මාස 6 ක් ඇතුලත ගෙවන බවට රජය සහතික විය. ණයවර ලිපි ක්‍රමයේදී රජය බඩු එන්නත් කලින් මුදල් ගෙවීම සිදු කළ යුතුය. එහිදී වැඩි අවදානමක් රජය දැරිය යුතු විය. මොකද නියමිත ප්‍රමිතියේ බඩු නොලැබුණොත් සොරි ඩොට් කොම් වන්නේ රජයට නිසාය..

රජයේ අරමුදල් ප්‍රශ්න හා පෙර පොහොර තොගයක් අදාල ප්‍රමිතින්ට අනුව නොවීම නිසා රජයට සිය අවදානම අවම කර ගැනීම වෙනුවෙන් DA ක්‍රමය යොජනා විය. එහෙත් ටෙන්ඩරය ඉල්ලුම් කළ සමාගම් අතරින් DA ක්‍රමයට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබුණේ ජැට් හොල්ඩිංග්ස් සමාගම පමණි..ඒ අනුව ටෙන්ඩරය නොවැම්බර් 21 වන දින ඔවුන්ට හිමි වු නමුත් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබු විදේශීය සැපයුම්කරුවාගේ ලියැවීලක් පිලිගැනීමට නොහැකිවීම නිසා එය නොවැම්බර් 24 වන දින යළි අත්හිටවනු ලැබීය. මෙහිදී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 72,000ක් ලබා ගැනීමට නියමිත වූ අතර එහි වටිනාකම අමරිකානු ඩොලර් 23,623,200 හෙවත් රුපියල් මිලියන 3,540 ක් පමණ විය. ඒ මිල හැදෙන්නේ මෙට්‍රික් ටොන් 1කට ඩොලෝ 328.10 ක මිලක් වශයෙනි. අදාල සමාගමට ටෙන්ඩරය අහිමි වීමෙන් පොහොර හිඟයක අවදානම මතුවීමට වඩා අවලස්සන කතන්දරය නම් එල්ලවු චෝදනා පුස්සක් වීමය.

ඇමැති තමයි අවුල ටෙන්ඩරේ නෙවේ

මේ අනුව කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ වන කුමක් හෝ ප‍ටු එදිරිවාදිකමක් මත මේ චෝදනා එල්ල කර ඇති බව පැහැදිලිය. එම පොහොර ටෙන්ඩරය සමාගමට අහිමි වූයේ ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීම නිසා නොව එම සමාගමට පොහොර විදේශීය වෙලඳපොලෙන් ලබා ගැනීමට නොහැකිවීම නිසා බවට අලුත් කතන්දරයක්ද නිර්මාණය කර තමන්ගෙන් වූ වරද වසා ගැනීමට මේ පත්තරකාරයෝ උත්සාහයක්ද ගෙන තිබිණි.

DA ක්‍රමයට යෑම නිසා මේ වූ බවද සඳහන් කර තිබුණේ එම ක්‍රමය ලොව කොහෙවත් භාවිතා කරන ක්‍රමයක් නොවන බවත් සඳහන් කරමින්. ජාත්‍යන්තර වෙලදාම් සිදුවන ආකාරය ගැන වෙබ් අඩවියකින් හෝ සොයා බැලුවා නම් ඒ මතය නිවැරදි නොවන බව පැහැදිලි වෙයි.

එසේම වැඩි මිලකට මෙම ටෙන්ඩරය ලබා දීමට කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල විය. ඒ ලෝ වෙළඳ පොලේ මිල ගනන් ගැන කියමිනි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මිල ගනන් සඳහන් වන්නේ පොහොර නිශ්පාදකයන් ඉදිරිපත් කරන මිල ගනනය. එහිදී ලෝකය පුරා පවතින්නේ එකම මිල ගනන් ද නොවේ.. ඒ ඒ රටවල වෙළඳ පොළවල මිල ගනන් විවිධය. එවා අතර ඩොලර් 50 ක 60 ක පමණ වෙනස්කම් තිබේ. එසේම මේ මිල ගණන් සතියෙන් සතිය වෙනස් වීම් වලට ලක් වේ.

එහෙ ෆැක්ටරියේ ගානට මෙහෙ පොහොර විකුණනු

අනෙක් වැදගත්ම කාරනය ලංකාවට පොහොර ගෙන්වන රාජ්‍ය හෝ පෞද්ගලික සමාගම් කිසිවකුට මේ පොහොර එම නිශ්පාදකයාගෙන් සෘජුව මිලදී ගැනීමේ හැකියාවක් නැති වීමය. මන්ද එම නිශ්පාදකයන් තමන්ගේ නිශ්පාදන තොගයම එකවර එම වෙළදාමේ යෙදෙන අතරමැදි තොග වෙලෙඳ සමාගමකට විකුණා දමනු ලැබීමයි . වෙනත් සමාගම් පොහොර මිලදී ගත යුතු වන්නේ එම අතරමැද සමාගම් වෙතිනි. ඒ අනුව එසේ මිලදී ගන්නා පොහොර වල මිලට මේ අතරමැදියන්ගේ ලාබයද එකතු වී වැඩි මිලක් බවට පත් වේ. එයින් මෙරට සමාගම් විසින් මිළදී ගනු ලබන පොහොර තොග කිලෝ ග්‍රෑම් 50 මිටි ලෙස සකස්කර තමන්ගේ වියදම හා ලාබය එකතු කරයි. රජයේ පොහොර සමාගම් 2 පොහොර මිලදී ගනු ලබනේ එලෙස මෙරටට ලැබෙන මුදලට මිස පොහොර නිශ්පාදකයාගේ ( ලෝක වෙලඳපොලේ) මිල ගනන් අනුව නොවේ.. එම නිසා ලෝක වෙලඳ පොලේ ඩොලර් 250 ට තියෙන පොහොර ටොන් එක, ඔන්න 328 ට ගන්නවෝ…. මෙතන බර ගානක් ගහලෝ…. යැයි කෑ කෝ ගැසීම සාධාරණ නොවේ. .එසේම මේ පත්තර කාරයන්ගෙ නොදන්නා කමයි.

තමන්ගේ අතටම ලැබෙන මොන මොනවා හෝ තොරතුරු ටිකක් පදනම් කරගෙන ඒ ලියා දමනවා මිස ඒ ගැන කිසිදු අමතර සොයා බැලිමක් නොකරන මේ නල්ලමලේ ගවේශනාත්මක පත්තරකාරයෝ, අරූ.. හොරා මූ ..හොරා කියමින් වීරයෝ වී සිටීමේ කතන්දරය ඔයාකාරය.

දෙවැනි ටෙන්ඩරයත් මගඩියක් ලු

එය කෙසේ නමුත් ජැට් හෝල්ඩින්ග්ස් ටෙන්ඩරය අත් හිටුවීම නිසා පොහොර හිඟයක අවධානම මතුව තිබිණි මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර දෙසැම්බර මස මැද බාගයේදී ලබා ගැනීම සිදුවිය යුතු විය. පෞද්ගලික අංශය සතුව ඒ සැපිරීමට ප්‍රමාණවත් පොහොර තොග තිබුණේද නැත.

පසුව මෙවර මහ කන්නය සඳහ පොහොර හිඟවීම වලක්වාලීම වෙනුවෙන් ජනාධිපතිවරයාද මැදිහත් වී ක්‍රියාත්මක වූයේ කිසියම් ක්‍රමයකින් හෝ ඒ සපුරා ගැනීම කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දෙමිනි. ඒ අනුව යළි හදිසි ටෙන්ඩර් කැඳවීමක් කර පොහොර ගෙන්වීමට අපේක්ෂා කළ අතර අවශ්‍යතාවය වූ මෙට්‍රික් ටොන් 72,000 වෙනුවට 36,000ක් හදිසියේ ගෙන්වා ගැනීම ටෙන්ඩර් කැඳවීය. එවර Da ක්‍රමය අත්හැර සුපුරුදු ණයවර ක්‍රමයට යෑමට සිදු වූයේ පැවැති හදිසි තත්වය සලකා බලාය.

ඒ අනුව ටෙන්ඩර් කැඳවීමෙන් ඇග්‍රී කොමොඩිටිස් පොහොර සමාගමට දෙසැම්බර් 12 වන දින ටෙන්ඩරය හිමිව තිබේ.. ඒ සිහින් කැට සහිත ප්‍රිලඩ් යුරියා (prilled urea ) පොහොර මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 316.20 ක මුදලකටය. මේ මුදල කළින් වාරයේ ජැට් හොල්ඩිංග්ස් ඉදිරිපත් කළ මුදලට වූ 328 ට වඩා අඩු මුදලකි…එසේම ඇග්‍රී සමාගම මෙහිදී රජයට අවශ්‍ය නම් ලොකු කැට සහිත ග්‍රැනියුලර් යුරියා (Granular) මරැ්) පොහොර ටොන් 36,000 ක්, හදීසි අව්‍යශ්‍යතාව මත එම මිලටම දෙසැම්බර් මස 31 වන දිනට පෙර ගෙන්වා දීමේ හැකියාව ඇති බව දන්වා තිබිණි. එය කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව එම පොහොර ද සහිතව ටොන් 72,000 ක ටෙන්ඩරය එම සමාගමට හිමි විය.
එම සමාගමට ටොන් 72,000 ක ටෙන්ඩරය හිමි වූයේ කෙසේද කවුද කොහොමද කියා අසන අයට දැන් මේ පාරෙන් ගොස් ඇත්ත සොයා ගත හැකිය.

පත්තර ලොජික්

පොහොර ටෙන්ඩරය ගැන පසුගිය ඉරිදා විකල්පය කියන පුවත්පතක පලවූ ලිපියකින් ලෝක වෙලඳපොලේ මිල ගණන් ගැන කියැවුණේ ‘..ග්‍රැනියුලර් පොහොර මිල, ප්‍රිල් පොහොර මිල හා සැසඳීමේදී මේ දිනවල ..ඩොලර් 50 ක පමණ අඩුවක් ගන්නා බව පොහොර වෙළඳ පොළ නිරීක්ෂකයන්ගේ මතයයි.’ ලෙසය… මේ නිරීක්ෂකයන් කවුද .මූලාශ්‍ර මොනවාද යන්න ගැන සඳහන් කරන්නෙ නැත. එසේ කිරීමට නොහැක මන්ද මේක පට්ට පල් බොරුවක් නිසාය. පොහොර ටෙන්ඩරය මගඩියක් බව කියන්නට තැත් කරන මේ සම්පූර්ණ ලිපියේම පදනම ඉන් කඩා වැටෙන නිසා එම කරුණ වසන් කර තිබේ.

සාමාන්‍යයෙන් ප්‍රිලඩ් පොහොර මිල ස්ථාවරව තිබෙන අතර ග්‍රැනියුලර් මිළ නිරන්තරයෙන් වැඩි අගයකින් උස් පහත් වේ. ටෙන්ඩරය කැඳවන විට ,ටෙන්ඩරය පිලිගන්නා විට හෝ බඩු මෙරටට ගෙනෙන විට කාලය තුලදී පවා ලෝක වෙළඳපොළේ මිල ගනන් වෙනස් අගයන් ගනී. එසේම ලෝක වෙලඳපොළ කීවාට ඒ ඒ රටවල වෙලඳපොළ අගයන් අතරද විශාල වෙනස් කම් පවතී ගල්ෆ් වෙලඳ පොළේ හා මැලේසියාවේ වෙළඳපොළ අතර ඩොලර් 30-40 පමන වෙනසක් ඇත. චීනයේ වෙළදපොළ අතර ග්‍රැනියුලර් මිල වෙනස ඩෝලර් 55 සිට 90 තරම් අගයකින් වෙනස්ය. මේ කිසිවක් නොතකා මේ පත්තරකාරයා පාඨකයාට කියන්නේ මේ පොහොර ටෙන්ඩරයේදී විශාල මගඩියක් සිදුව ඇති බව පිලිගන්නා ලෙසය. පාඨකයන් මැටි මොල් පොල් බූරුවන් නම් එසේ කළ හැකිය.

අනෙක් කාරනය , සාමාන්‍ය තැපෑල හා සීග්‍රගාමී තැපෑල කියා දෙකක තිබේ. නමුත් දෙකෙන්ම කරන්න ඒ එකම වැඩේ. නමුත් සීග්‍රගාමියේ ගාන වැඩිය. ග්‍රැනියුලර් ගෙන්වා ගැනීම වෙනුවෙන් වැඩි ගානක් ගෙවන්න සිදු වෙන්නේ ඒ සරළ කාරනය නිසාය.

මෙම ලිපියෙම තවත් තැනක පත්තර කාර මහත්තයා කියන්නේ ප්‍රිලඩ් පොහොරවලට වඩා ග්‍රැනියුලර් පොහොර ඩොලර් 26.9 කින් මිලෙන් අඩු නිසා එකම මිලකට මේ ටෙන්ඩරය ලබා දීමෙන් ඩොලර් 1,937,520 ක් (රුපියල් මිලියන 290 ක්) යටි මඩි ගසා ඇති බවකි. කලින් කී ඩොලර් 50 වෙනස මෙතනදි අමතක වී තිබේ.

එපමණක් නොවේ.. ගනන් හිලව් මොකවත් නැතිවම මේ ලිපියේම තවත් තැනක සඳහන් වන්නේ ප්‍රිලඩ් යුරියා සඳහා අවම ලංසුව ඉදිරිපත් කළ සමාගමේ මිල ගනන් හා සැසඳීමෙන් ඩොලර් 50ක පමණ වැඩි මිලක් මෙම ග්‍රැනියුලර් පොහොර වෙනුවෙන් ගෙවන බවය.. ඒ නිසා මෙතන වංචාව ගොඩක් ලොකු බවය…ඒ ගාන හැදෙන්නේ කෙසේද යන්න මේ ගවේෂණාත්මක ලියැවිල්ලේ නැත.. මේවා පුදුම තර්කය. පුදුම ලියැවිලිය..දැන් බුද්ධිමත් පාඨකයා මේ ටෙන්ඩර් පත්‍රිකා සොයාගෙන ගනන් හිලව් හදාගෙන මේ පත්තරකාරයාගේ තර්ක විතර්ක පිළිගැනිම කළ යුතුව තිබේ.

මේ සටහන තුලින් කියන්නට උත්සහ ගත්තේ පොහොර ටෙන්ඩරයේ වංචාවක් සිදුව තියෙනවාද නැද්ද යන්න ගැන නොවේ.. එසේ වී ඇත්නම් ඒ සත්‍ය , නිවැරදි හා සාධාරණ කරුණු වලින් යුතුව ඉදිරිපත් කළ යුතු බව කියන්නටය..

පත්තර කාරයෝ කියන ඕනැම බොරුවක් සත්‍යය ලෙස විශ්වාසයකින් යුතුව පිලිගැනීමක් අප රටේ තිබෙන නිසා මේ පදනම් විරහිත බොරු පවා සාමාන්‍ය පාඨකයා විශ්වාස කරයි…පත්තරකාරයා මේ සෙල්ලම් කරන්නේ ඒ විශ්වාසය සමඟය. මෙහිදී .මජර දේශපාලකයකුගේ හැසිරීමට වඩා මේ පත්තරකාරයන්ගේ හැසිරීමද දෙවෙනි නොවන්නේ ඒ නිසාය.

-ටෙනිසන් අතුරුගිරිය ආරච්චි
lankadaily

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here