මස් කඩේ කැලැන්ඩරයට රුවන් වැලි සෑය

0
71

බෞද්ධ ජනතාවගේ ගෞරවයට මෙන්ම වන්දනාවට පාත්‍රා වන ප්‍රධාන විහාරස්ථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෝ තිදෙනෙක් හෙට (27) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය පෙරේදා (24) නියෝග කළාය.

රතන්පුර පුලූගුපිටිය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි කරන වෙළඳසැලක ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන කුරුණෑගල කැකුණුගොල්ල, ගාල්ලගම ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් සහ මොහොමඩ් රින්සාන් යන දෙසොයුරන් සහ කුරුණෑගල අනුර ප්‍රින්ට්ස් නම් ආයතනයේ කළමනාකරු බව සඳහන් සනත් යන තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පළමු සැකකරුවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මාස කිහිපයකට පෙර ඔවුන් රත්නපුරේ පුලූගුපිටිය ප්‍රදේශයෙන් වෙළෙඳසැලක් කුලියට ගෙන කුකුල් මස් වෙළඳසැලක් අරඹා තිබේ. මීට දින කිහිපයකට පෙර එම වෙළඳසැලෙන් කුකුල් මස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුවන්වැලි මහ සෑයේ පිංතුරය සහිත නව වසරට නියමිත කැලැන්ඩර් ලබා දී තිබේ.

බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර ප්‍රධාන විහාරස්ථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම ගැන ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව රත්නපුර පොලිසියට කළ දැනුම්දීමක් මත එම ස්ථානයේ තිබී එවැනි කැලැන්ඩර් පනහක් ද සොයා ගෙන තිබේ.

පසුව ඒවා මුද්‍රණය කළ මුද්‍රණාලයේ කළමනාකරු බව කියන පුද්ගලයා ද සමඟ මාංශ සමඟ ඒවා බෙදූ ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මීස් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here