අලු මතින් යලි නැගිටින යුරෝපයේ එකම බෞද්ධ ජනවර්ගය

0
147

බුදු දහම කියන්නෙ ආසියාතික කලාපයේ ආගමක් කියලා තමයි බොහොම දෙනා හිතන්නෙ. ඒත් ඒ මතය මුලුමනින්ම නිවැරදි නැහැ. බුදු දහම කියන්නෙ ආසියාකරයෙන් පිටතදිත් සියවස් ගාණක් පුරා නොනැසී පැවතුණු ධර්මයක්. ඒ අපූරු කතාව කියන්නට නම් සියවස් ගාණක එපිට අතීතයක් හාරාවුස්සන්නට වෙනවා.

“ඩ්සුන්ගාරියා” කියන්නේ බටහිර චීනයේ ක්සින් ක්සියෑන්ග් පලාතේ එක කලාපයක්. මේ කලාපයේ මොංගෝලියානු ජන කණ්ඩායමක් ජීවත් වුණා. මේ ජන කණ්ඩායම හැදින්වුණේ “කාල්මික්” එහෙමත් නැත්නම් “කාල්මක්” යන නමින්. කාල්මක් වරු සංචාරක ගෝත්‍රයක් වුණත් ඔවුන්ගේ නිජබිම වුණේ “ඩ්සුන්ගාරියා”ව.

15 වෙනි සියවසේදී, ටිබෙට් ජාතික ධර්මදූත භික්ෂු පිරිසකගෙන් ධර්මය අහපු මේ ජන කණ්ඩායම බුදු දහම වැලද ගත්තා. ඉන් පස්සෙ ඔවුන් තමන්ගෙ අධ්‍යාත්මික නායකයා විදිහට පිළිගත්තෙ “දලයි ලාමා” ව.

මේ කාලය කාල්මක් වරු ඒ අයගෙ අසල්වාසී ගෝත්‍ර එක්ක පුංචි පුංචි අර්බුද ඇති කරගත්ත කාලසීමාවක්. ඒ වගේම තමන් මේ ඉන්න පලාතට බටහිර දිශාවට වෙන්න තමන්ගෙ සත්තුන්ට කෑම සපයන්න පුලුවන් වඩා හොද තෘණ භූමි තියෙන බවත්, පදිංචියට ඉඩ කඩ ඇති හිස් බිම් තියෙන බවත්, මේ කාලයේ ඔවුන් සොයා ගත්තා. ඒ නිසා 1618 අවුරුද්දෙදි කාල්මක්වරු ඒ බටහිර බිම් කඩට සංක්‍රමණය වෙන්න තීරණය කළා.

ඒ තීරණයට අනුව කාල්මක් වරුන්ගෙන් 200,000 ක් විතර බටහිර දිශාවට සංක්‍රමණය වුණා. මේ සංක්‍රමණය දවසකින් දෙකකින් සිදු වුණ දෙයක් නෙවෙයි. අවුරුදු දහයක් විතර කාලයක් ගත වුණා. ඒ කාලය ඇතුලත කාල්මක් වරු ලක්ෂ දෙකක් විතර කැස්පියන් මුහුදේ බටහිර වෙරල පැත්තට වෙන්න තියෙන සරුසාර තණබිම් වලට ඇවිත් වාසස්ථාන තනාගෙන පදිංචි වුණා. එතනින් පස්සෙ 1630 වගේ කාලෙ වෙනකොට ඔවුන් වොල්ගා ගගේ ඉවුරු දෙපැත්තෙ ජනාවාස තනාගත්තා. 1630 ඉදන් 1724 වෙනකල් ඔවුන් ස්වාධීන ජන කොට්ඨාශයක් විදිහට ජීවත් වුණ ඔවුන්ගෙ මේ පුංචි රාජධානියට කිව්වේ කාල්මක් කානාටේ කියලා.

ඔවුන් තමන්ගේ ජනතාව පාලනය කළේ ගෝත්‍රික සභා මගින්. ඒ හින්දා ඔවුන් ස්වයං පාලනයක් තිබුණු ස්වාධීන ජන කොටසක්. සංචාරක ගෝත්‍රයක් වුණු නිසා කාල්මක් වරුන්ට වන්දනාමාන කරන්න සාම්ප්‍රදායික වෙහෙර විහාර නම් තිබුණෙ නෑ. ඔවුන්ගේ විහාරස්ථාන වුණේ හම් වලින් තනපු වටකුරු කූඩාරම් විශේෂයක්. වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වුණත් කාල්මක් ගෝත්‍රිකයිනුත් ටිබෙටයත් අතර තිබුණු සම්බන්ධකම් දිගින් දිගටම පැවතුණා. කාල්මක් වරු වන්දනාවටත්, ආගමික අධ්‍යාපනයටත් ටිබෙටයට ගියා. ටිබෙට් ලාමාවරු කාල්මක් වරුන්ගේ දේශයටත් වරින් වර ආවා ගියා. ඒ නිසාම බුදුදහම කාල්මක් වරු අතර ඉහලින්ම වැජඹුණා.

සායා පාන්ඩිටා කියන ටිබෙට් ලාමාවරයා (1599-1662) කාල්මක් භාෂාවට අක්ෂර මාලාවක් නිර්මාණය කරලා බෞද්ධ පොත්පත් 180ක්ම ඒ භාෂාවට පරිවර්තනය කළා.

ඒත් කාල්මක් වරුන්ගෙ සාමකාමී ගැමි ජීවිතයට වැඩි කාලයක් ආයුෂ තිබුණෙ නෑ. ඉඩම් නැති රුසියානු අද ගොවීන් කැස්පියන් මුහුද අසබඩ මේ බිම් තීරුවට ටිකෙන් ටික සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. අන්තිමේදි රුසියානු ගැමියන්ව කාල්මක් දේශයට සංක්‍රමණය කරවන වැඩේට සහය දෙන්න රුසියානු සාර් වරයාත් තීරණය කළා. සංක්‍රමණික රුසියානු ගොවියෝ කාල්මක් කර්නාටේ වල පදිංචි වෙලා ගොවිපොලවල් ගොඩනගා ගත්තා. ඒ ගොවිපොලවල් වටේට වැට කඩොලු බැද ගත්තා. මේ නිසා නිදහසේ ඒ මේ අත ඇවිදපු සංචාරක ගෝත්‍රයක් වුණු කාල්මක් වරුන්ගෙ පැවැත්මට බාධා ඇති වුණා. කාල්මක් වරුන්ට නොයෙකුත් දුෂ්කරතා වලට මූණ දෙන්න සිද්ධ වුණා. මේ දෙපිරිිස අතර ගැටුම් පවා ඇති වුණා.

රුසියානු සාර්වරයාට කාල්මක් වරුන්ව පීඩනයට පත් කරන්න මේ ගැටුම් හොද හේතුවක් වුණා. කානාටේ දේශය ඇතුලත දේශපාලනික ප්‍රදේශ ඇති කරන්නත් සාර් වරයා මේක අවස්ථාවක් කරගත්තා. ටිකෙන් ටික කාල්මක් වරුන්ගෙ දේශයේ නිදහස නැති වුණා. 1771 දී මහා කැතරින් රැජිණ කානාටේ දේශය අහෝසි කරලා 170,000ක් කාල්මක් වරුන්ට ආපහු ඩ්සුන්ගාරියා පලාතට යන්න නියෝග කළා.

ඒ වෙනකොට කාල්මක් වරු ඩ්සුන්ගාරියාව අත් ඇරලා ඇවිත් ශතවර්ශයකටත් වැඩියි. ඒ වෙනකොට ජීවත්ව උන්නු කාල්මක්වරු කවදාවත් දැකලාවත් තිබුණු පලාතක් නෙවෙයි ඩ්සුන්ගාරියාව. ඒ වගේම ඒ කාගෙවත් උපන් බිමත් නෙවෙයි. ඒ මදිවට ඒ බිම දැන් වෙනත් ජන කණ්ඩායම් ඇවිත් අයිති කරගත්ත භූමියක්.

ආපහු ඒ භූමියට ගිය කාල්මක් වරුන්ගෙ ඉරණම හරිම අවාසනාවන්ත එකක් වුණා. තවත් කොටසක් ඩ්සුන්ගාරියාවට පිටමං නොවී හිටපු පලාතෙම රැදුණත් එහෙම රැදුණු කාල්මක් වරුන්ගෙ ඉරණම ඊට වඩා යහපත් වුණා නම් ඒ හරිම සුලු ප්‍රමාණයකින් විතරයි. ඒ අය තමන්ගෙ ඉඩම් වල රැදිලා හිටියෙ රුසියානු අධිරාජ්‍යයාගෙ අනුමැතියක් නැතිවනෙ. ඉතින් ඔවුන් ඉබේටම දෙවෙනි පන්තියේ පුරවැසියො බවට පත්වුණා. ඔවුන්ගේ ඉඩම්, තණබිම් රාජ සන්තක කරලා සමූහ ගොවිබිම් බවට පත් කෙරුණා. ඔවුන්ව බලහත්කාරයෙන් වෙනත් ඉඩම් වල පදිංචි කෙරුණා. ඔවුන්ගේ භාෂාව පවා යටපත් වෙන තැනට වැඩ සැලසුණා.

ඔවුන්ට අත් වුණ මේ ඉරණම දැකලා වැඩියෙන්ම සතුටු වුණේ ක්‍රිස්තියානි මිෂනාරි වරු. ඒ අය අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කාල්මක් වරුන්ව ක්‍රිස්තියානි ආගමට බිලී බා ගන්න පටන් ගත්තා. ක්‍රිස්තියානි ආගමට හැරෙන කාල්මක් වරුන්ට යම් යම් වරප්‍රසාද ලබා දෙන්න කියලා රුසියානු සත්‍යලබ්ධික කතෝලික දේවස්ථානයෙන් රුසියන් සාර්වරයාගෙන් ඉල්ලීමක් පවා කළා. සාර්වරයා ඒ ඉල්ලීමට එකග වුණා. බුදු දහම අත් හැරලා කතෝලික ආගමට හැරෙන අයට කාල්මක් වරුන්ට අහිමි වෙලා තිබුණු පුරවැසි වරප්‍රසාද වලින් සීමිත කොටසක් හරි භුක්ති විදින්න ඉඩ ලැබුණා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට 18 වෙනි සියවසේ මුල් කාලෙදි 200 කට වැඩියෙන් තිබුණු කාල්මක් විහාරස්ථාන ගණන 1895 අවුරුද්ද වෙනකොට 62ක් වෙනකල් අඩුවුණා.

1917 අවුරුද්දෙ රුසියානු විප්ලවය ආපුවාම බොහොමයක් කාල්මක් වරු රුසියානුවන් තමන්ව පෙලන මේ පීඩනයෙන් දැන්වත් සහනයක් ලැබේවි කියලා බලාපොරොත්තු වුණා.

හැම ජනවර්ගයකටම සමානව සැලකෙන පොරොන්දු දේශයක් රුසියාව තුළත් නිර්මාණය වේවි කියලා කාල්මක් වරු බලාපොරොත්තු වුණා. ඒත් බොල්ෂේවික් වරු රාජ්‍යබලය පැහැරගත්තට පස්සෙ රතු හමුදාව තරුණයින් දහස් ගණනක් බලහත්කාරයෙන් තමන්ගෙ හමුදාවට බදවාගත්තෙ ඔවුන් සුදුජාතිකයින්ට එකතු වීම වලක්වන්නත් එක්කමයි. ඒ වෙනකොටත් කාල්මක් වරු තමන්ට සමානාත්මතාවය ලැබේවි කියන බලාපොරොත්තුව අත්ඇරලා තිබුණෙ නෑ.

ඒත් සිවිල් යුද්ධය නිමා වුණාට පස්සෙ ආයෙමත් කාල්මක් වරුන්ගෙන් පලිගැනීම ආරම්භ වුණා. කාල්මක් වරුන්ගේ විහාර වසා දැමුණා. භික්ෂුන්ව බලහත්කාරයෙන් සිවුරු හැරෙව්වා. සමහර භික්ෂූන්ව නොයෙක් හේතු කාරණා කියමින් මරා දැම්මා. බුදු දහමට සම්බන්ධ හැම දෙයක්ම බලහත්කාරයෙන් යටපත් කෙරුණා.

1920 අවුරුද්දෙදි කාල්මක් ස්වයංසාධක සෝවියට් සමාජවාදී ජනරජය (KASSR) කියලා ඊනියා නමකුත් යොදාගත්තු පාලන ඒකකයක් පිහිටුවාගත්තෙ කාල්මක්වරුන්ට ස්වාධීන පාලනයක අයිතියකුත් තියෙනවා කියලා ඇගවීමේ උවමනාවෙන්ම වුණත් ඒකේ හැම ප්‍රතිපත්තියක්ම නිර්මාණය වෙලා තිබුණෙ මොස්කව් වල කොමියුනිස්ට්වාදීන් අතින්මයි.

මේ විදිහට අවුරුදු කීපයක් සමාජය විනාශ කරපු එකේ ප්‍රතිඵලය විදිහට 1922 දී දරුණු සාගතයක් ඇතිවුණා. මේ සාගතයෙන් කාල්මක්වරුන්ව ආරක්ෂා කරගන්න කාල්මක්වරු 100,000ක් තමන්ගෙ රටට බාර ගන්න මොංගෝලියානු රජය කැමති වුණා. කාල්මක්වරුත් මොංගෝලියානුවනුත් අතර හොද බැදීමක් තිබුණා. මොස්කව් වලින් මොංගෝලියානු රජයේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා කාල්මක්වරු 70,000ක් විතර කුසගින්නේ මියගියා. එතනින් ඒ අවාසනාවන්ත සිදුවීම් ඉවරයක් වුණෙත් නෑ. ඊටත් වඩා බිහිසුණු ඉරණමක් කාල්මක් වරුන් වෙනුවෙන් ලියවිලා තිබුණා.

රුසියාවේ තියෙන හැම ගොවිබිමක්ම, හැම සත්ව ගොවිපොලක්ම සාමූහිකකරණය කරන්න 1929 දී ස්ටාලින් අණ කළා. KASSR හෙවත් කාල්මක් ජනරජයත් මේ අණට යටත් විය යුතු වුණා. බැටලුවන් 500කට වඩා හිමි ඕනෑම කෙනෙක් කුලාක්වරයෙක් එහෙම නැතිනම් ධනපති ගොවියෙකු විදිහට නම් කෙරුණා. එහෙම ධනවතුන් විදිහට නම් කරපු හැම කෙනෙකුවම ඒ අයගේ පවුලේ අයත් එක්කම සයිබීරියාවට පිටුවහල් කෙරුණා. පිටුවහල් වීම ප්‍රතික්ෂේප කළ අයව වෙඩි තියලා මරා දැම්මා. ඔවුන් කියපු විදිහට පවුලක කෑම බීම, වෙනත් අවශ්‍යතා හැම දෙයක්මත් පිරිමහගෙන, රජයට ගෙවිය යුතු බදුත් ගෙවන්න බැටලුවන් 450ක් හොදටම ප්‍රමාණවත්. මේ අදුරු ඉරණමෙන් මිනිස්සු දහස් ගාණක් දුක් වින්දා.

පිටුවහල් කිරීමෙන් ගැලවෙන්න පැනලා ගිය අයගෙන් වැඩි කොටසක් ටිබෙට් දේශයට පලා ආවා. තවත් කොටසක් යුගෝස්ලාවියාවට පැනලා ගියා. ඒ විදිහට යුගෝස්ලාවියාවට පැනලා ගිය අය තමයි 1929දි බටහිර රටක තැනුණු පළමුවෙනි බෞද්ධ ස්ථූපය ඉදි කළේ. ඒ බෙල්ග්‍රේඩ් වල. තවත් පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයට පැනලා ගියා. මේ විදිහට ඇමරිකාවට පැනගන්න සමත් වුණු කාල්මක් වරයෙක් තමයි ගේෂේ වැන්ගියාල් කියන ලාමාවරයා. මේ ලාමාවරයා තමයි තිබ්බත බුදුදහම පළවෙනි වතාවට බටහිර රටකට උගන්වන්න පටන් ගත්තේ. ඔහුගේ සිසුන්ගෙන් සමහර අය ප්‍රසිද්ධ බෞද්ධ උගතුන් බවට පත් වුණා. මහාචාර්ය රොබර්ට් තර්මන් සහ මහාචාර්ය ජෙෆ්රි හොප්කින්ස් ඒ අතරින් දෙන්නෙක්.

1941 දී නාසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කරන්න ආවාම තමන්ගෙ රට වෙනුවෙන් සටන් කරන්න කාල්මක් වරු දහස් ගණනින් රතු හමුදාවට එකතු වුණේ තමන්ගෙ රටේ අයම තමන්ට සැලකුවේ මොන තරම් නරක විදිහටද කියන එකත් අමතක කරලා.

නාසින් කෙටි කාලයක් කාල්මක් ජනරජය අයිති කරගෙන රැදිලා හිටියත් නැවතත් ඔවුන්ව පලවා හරින්න රතු හමුදාව සමත් වුණා. නාසින් කාල්මක් ජනරජයේ රැදී හිටියේ කෙටි කාලයක් වුණත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ස්ටාලින් සියලුම කාල්මක්වරුන් පාවාදෙන්නන් විදිහට සැක කළා. ඒ නිසා 1943 ඔක්තෝබර් 26 වෙනිදා ස්ටාලින් තීරණය කළා මුලු කාල්මක් ජනගහනයම සයිබීරියාවේ මුඩුබිම් වලට පිටුවහල් කරන්න. මේ පිටුවහල් කිරීම නිසා කොයි තරම් මිනිස්සු මිය ගියාද කියලා නිශ්චිත නැතත් ඒ වෙනකොට හිටපු කාල්මක් ජනගහනයෙන් හරි අඩක් විතරම මියගියා කියලා කියවෙනවා. කාල්මක් ස්වාධීන සෝවියට් සමාජවාදී ජනරජය නැත්තටම නැතිවී ගියා.

යුද්ධයෙන් නිවාස අහිමිවුණු යුක්‍රේනියානුවන්, රුසියානුවන්, කාල්මක් ජනරජයට සංක්‍රමණය වුණා. එහි පදිංචි වුණා. හැම ගමකටම නගරයකටම අලුත් රුසියානු නම් වැටුණා. යුරෝපයේ හිටපු එකම ස්වදේශික බෞද්ධ ජාතිය එහෙම පිටින්ම ඉතිහාසයෙන්ම මැකිලා ගියා වාගෙයි.

ඒත් 1957 දී ස්ටාලින් මිය ගියා. ඊට පස්සෙ කාල්මක් වරුන්ට නැවතත් තමන්ගේ ගම්බිම් වලට එන්න පුලුවන් කියලා ක්රෂ්චෙව් පාලන තන්ත්‍රයෙන් නිවේදනයක් නිකුත් කළා. සයිබීරියාවට පිටුවහල් කරලා තිබීමට වඩා ආයෙමත් මව්බිමට එන්න ලැබීම හොද දෙයක් වුණත් කාල්මක් වරුන්ට ලැබුණෙ නැවත එන අවසරය විතරයි. ඔවුන්ට සිදුවුණ අසාධාරණයට වන්දියක්වත්, නැවත පදිංචි වෙන්න කිසිම ආකාරයක උපකාරයක්වත් ලැබුණෙ නෑ. ඒ වෙනකොට ඔවුන්ගෙ ගම්බිම් මුලුමනින්ම රුසියානුවන් විසින් අත්පත් කරගෙන තිබුණා. නැවත ගම්බිම් වලට ආපු කාල්මක් වරුන්ව රුසියානුවන් දැක්කෙ පිටස්තරයින් විදිහටයි. ඒ නිසා මුඩු බිම් වල පදිංචි වෙලා, ජීවත් වෙන්න යමක් ලබා ගන්න අනේක විධ දුක් කම්කටොලු විදිනවා ඇරෙන්න කාල්මක් වරුන්ට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

පාසැල් වල තමන්ගෙ භාෂාව ඉගෙන ගන්න ඔවුන්ට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඔවුන්ගෙ සංස්කෘතියට අනුව කටයුතු කරන්න කිසිම අනුබලයක් ලැබුණෙ නෑ. බුදු දහම තහනම් දෙයක් වුණා. මේ අරුම පුදුම තහංචි මැද ඉදන් පවා තමන්ගේ ආගම රැක ගන්න කාල්මක් වරුන්ට හැකි වුණා.

1991 සෝවියට් රුසියාව බිද වැටුණාට පස්සෙ තමයි අවුරුදු 150කට පස්සෙ කාල්මක් ජනතාවට බලාපොරොත්තුවෙ ආලෝකයක් දකින්න පුළුවන් වුණේ. 1992දී කාල්මක්වරුන් විසින් රුසියානු සමූහාන්ඩුව තුළ ස්වාධීන රාජ්‍යයක් විදිහට කාල්මිකියා ජනරජය බිහිකරගත්තා. මුල් කාලෙදි ආර්ථික අපහසුතා තිබුණත් ජනරජය හොදින් ගොඩනැගුණා. ජනගහනයෙන් 57%ක්ම කාල්මක්වරු වුණු අතර 37%ක් බෞද්ධයින් වුණා. ජනරජයේ ප්‍රධාන නගරය එලිස්ටා වල ආකර්ශනීය රන් වෙහෙරක් ගොඩනැගුණා. ඒ විහාරයේ වර්තමාන නායක හිමි වෙන්නේ ටෙලෝ ටූලකු රින්පෝච් නම් භික්ෂූන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඇමරිකාවේ ඉපදිලා, ඉන්දියාවේ ඉන්න ටිබෙට් ජාතික භික්ෂූන්ගෙන් ධර්ම අධ්‍යාපනය ලබපු කෙනෙක්. උන්වහන්සේගේ මෙහෙයවීම යටතේ කාල්මිකියාවේ බුදු දහම නව පුනර්ජීවනයක් ලබනවා. මේ වෙනකොටත් අලුත් වෙහෙර විහාර 27ක්ම ගොඩ නංවලා, විශාල තරුණ පිරිසක් ඉන්දියාවට ඇවිත් භික්ෂුත්වය ලබන්න උවමනා කරන බෞද්ධ අධ්‍යාපනයත්, පුහුණුවත් ලබා ගන්නවා. යුරෝපයේ සිටින එකම ස්වදේශික බෞද්ධ ජන වර්ගය දීර්ඝ කාලීන ඉඩෝරයකට යටපත් වෙලා තිබිලා අලුත් වැස්සකින් පීදෙන බිජුවට වගේ නැවතත් හිස ඔසවමින් සිටිනවා.

(ඔස්ට්‍රේලියාවේ සිටින භන්තේ එස්.ධම්මික ස්වාමින් වහන්සේ The Island පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.)
නිම්මි මුදිතා හේරත්
දිවයින 26.12.2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here