දකුණු ආසියාවේ අඩුම මාතෘ මරණ ලංකාවේ

0
24

දකුණු ආසියාව තුල අඩුම මාතෘ හා ළමා මරණ අගයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සුව ඇමැති පවසයි.
ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ශ්‍රී ලංකා පරාජන්ම සංගමය 2001 වසරේ දී ආරම්භ කිරීමෙන් පසු ප්‍රසව සහ ළමා රෝග ආදී ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් රැසක් සිදුකර තිබෙනවා. ගර්භනී මවුවරුන් සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන් දක්වා ඇති දායකත්වය අගය කළ යුතුයි. ගර්භනී සමය සහ ප්‍රසූතියෙන් පසු අවධිය මවටත් පවුලේ අයටත් වෙහෙසකාරී කාලයක්. විශේෂයෙන් මවගේ බරපතල ශාරීරික වෙනස්වීම් සමග පීඩනය ඉහළ යන කාලයක්. ශාරීරිකව, මානසිකව, ප්‍රායෝගිකව සහ සමාජීය වශයෙන් ද මව කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. එම අවස්ථාවේ දී පරාජන්ම සංගමයේ වෛද්‍යවරුන්ගේ දායකත්වය ඉතා වදගත්. එමෙන්ම දකුණු ආසියාව තුල අඩුම මාතෘ මරණ සහ ළමා මරණ අගයක් පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවයි. එය දියුණු රටවල් සමග ද සසැදිය හැකි මට්ටමක පවතිනවා. තව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ රෝගාබාධ සම්බන්ධ පරීක්ෂණ මෙන්ම උපදේශණ ලබාදීමට ද අදාල පියවර සළසා තිබෙනවා. මාතෘ සහ ළදරු සෞඛ්‍ය නගා සිටුවීමේ දී පුහුණු සහ පර්යේෂණ ආදිය පිළිබදව රජය, අනෙකුත් ආයතනවලටත් විශේෂඥ උපදෙස් ලබාදීමට වගේම ප්‍රතිපත්ති සම්පාදනයේ දී දායකත්වය දැක්වීමටත් සංගමයට හැකියාව ලැබී තිබෙනවා.”
මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති යු.ඒ.ටී රත්නසිරි මහතා, හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here