හොඳම නවකතාව – ගරුඩ මුහුර්තය, හොඳම කෙටි කතාව – මකර තොරණ

0
108

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය ගරුඩ මුහුර්තය නවකතාව රචනා කිරීම වෙනුවෙන් සම්මානලාභී ලේඛක කීර්ති වැලිසරගේ මහතාට හිමි විය.

දෙමළ මාධ්‍ය හොඳම නවකතාවට හිමි සම්මානය මා. බාලසිංහම් දිනාගත් අතර ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් එම සම්මානය දිනාගනු ලැබුවේ නයෝමි මුනිවරය.

ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සාහිත්‍ය රත්න සම්මානයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සාහිත්‍යවේදින් තිදෙනෙකු සම්මානයට පාත්‍රවූ අතර මහාචාර්ය ආරිය රාජකරුණා, නිර්වෙයි පොන්නයියන් හා ජීන් අර්සනාගයම් යන සාහිත්‍යවේදීහු මෙසේ සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම සාහිත්‍යවේදීන් හා ලේඛකයන් මෙසේ සම්මානයෙන් පිදුම් ලැබූයේ නෙලුම් පොකුණ රඟහලේදී පසුගිය 8 වැනිදා පැවති හැටවන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කෘතින් වැඩිම ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කළ ප්‍රකාශන ආයතනය ලෙස එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන සමාගම සම්මාන ලැබු අතර එස්. ගොඩගේ මහතාට එම සම්මානය සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතා අතින් පිරිනමනු ලැබිණ.

හොඳම ළමා කතාවට හිමි සම්මානය අවුරුදු කෑම කතා පොත රචනා කළ සිබිල් වෙත්තසිංහ හා මගේ ගුරුතුමා රචනාකළ තනුජා එන්. ගමගේ ලේඛිකාවන් විසින් දිනාගනු ලැබු අතර හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානය රාමා හා දිනු නවකතාවේ රචකාවිය වූ අනුල ද සිල්වා ලේඛිකාවට හිමි විය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සහය ඇතිව මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර ඇත. එක්දාස් පන්සීයකට අධික කෘතීන් ප්‍රමාණයක් එකසිය හැටක පමණ විනිසුරු මඩුල්ලක් යටතේ විවිධ ක්ෂේත්‍ර හා විවිධ අදියරයන් වලදී විනිශ්චයට භාජනය කර සම්මානලාභී කෘතීන් තෝරාගෙන තිබේ.

ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටි කතා, ස්වතන්ත්‍ර පද්‍ය රචනා කෘති, ස්වතන්ත්‍ර ගී රචනා කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ස්වතන්ත්‍ර නාට්‍ය කෘති, විද්‍යා සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, ශාස්ත්‍රීය පර්යේෂණ, විවිධ විෂයක සමාජ ශෘස්ත්‍ර කෘති, විවිධ විෂයක මානව ශාස්ත්‍ර කෘති ලෙස වර්ගීකරණයකට යටත්ව සාහිත්‍ය නිර්මාණකරුවන් වෙත සම්මාන පිරිනමනු ලැබිණ. මෙහිදී පරිවර්තන සාහිත්‍ය කෘති යටතේ ශාස්ත්‍රීය හා පර්යේෂණ, නවකතා, කෙටි කතා, නාට්‍ය ආදි තේමා ඔස්සේ සාහිත්‍යකරුවන් සම්මානයට පාත්‍රවිය.

මේ සියල්ල අතරින් හොඳම පිටකවර නිර්මාණයට හා හොඳම නිමාවෙන් යුත් හා පිටු සැකැස්මෙන් යුත් ග්‍රන්ථය නිර්මාණය වෙනුවෙන්ද සම්මාන හිමි වූ අතර දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයේ යෙදුණ ලේඛකයින් හා නිර්මාණකරුවෝ ද සම්මානයට පාත්‍ර වූහ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යංශ ලේකම් ඩී. ස්වර්ණපාල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය රෝහිණී පරණවිතාන, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, බුද්ධදාස ගලප්පත්ති, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුගත් වටගෙදර, මහාචාර්ය සුනිල් ආරියරත්න, චන්ද්‍රා සමරසිංහ, එස්. මුරලිදරන් යන විද්වත්හු හා කලාකරුවෝ සම්මාන ප්‍රදානයෙන් දායක වූහ. 1957 පැවති පළමු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයෙන් පිදුම් ලැබූවන් අතරින් ජීවතුන් අතර සිටින එකම සාහිත්‍යවේදියා වූ පණ්ඩිත් අශෝක කරුණාරත්න මහතාද මෙවර සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන ප්‍රදානයෙන් දායක වීම විශේෂත්වයකි.

රවිබන්ධු – සමන්ති විද්‍යාපති රංගායතනය හා චන්න උපුලි කලායතනය සිය ශිල්පීන්ගේ නර්තන අංගයන්ගෙන් සාහිත්‍ය උළෙල වර්ණවත් කළේය.

මෙහිදී අදහස් දැක්වු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මිය මෙසේ පැවසුවාය.

සමාජය වඩාත් යහපත් තැනක් බවට පත් කරන්න නම් හොඳ සාහිත්‍ය රසවින්දයක් සහිත පිරිසක් සමාජයට දායාද කළ යුතු බව මගේ හැඟීමයි. මෙවැනි සාහිත්‍ය සම්මාන උළෙල වලින් අපි බලාපොරොත්තු වන්නේ උසස් සාහිත්‍ය කෘති නිර්මාණකරණයේ යෙදෙන්නන් දිරිගැන්වීම වගේම ඒවා රසවිඳින පිරිසක්ද සමාජයේ ඇති කිරීමයි. අපේ හීනය වන්නේ මේ මුලු මහත් සමාජයම සාහිත්‍ය නිර්මාණකරුවන් හා සාහිත්‍ය රසවිඳින්නන් කියන ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුලුවන් තත්ත්වයට සමාජය රැගෙන ඒමයි.

මෙහිදී රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති සමන්ත හේරත් මහතා ද අදහස් දැක්වීය. මෙම අවස්ථාවට කතානායක කරු ජයසුරිය, විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහත්වරුන්ද සාහිත්‍යකරුවන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ.

හැටවන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මානලාභීන් මෙසේය.

හොඳම ස්වතන්ත්‍ර නව කතාව – කීර්ති වැලිසරගේ – ගරුඩ මුහුර්තය.
හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය – ප්‍රභාත් ජයසිංහ – මකර තොරණ.
හොඳම ස්වත්‍රන්ත්‍ර පද්‍ය සංග්‍රහය – ලක්ෂාන්ත අතුකෝරළ – සමහර කමටහන්.
හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය – කුලරත්න ආරියවංශ – පිනිබර මලක්.
හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය – අනුල ද සිල්වා – රාමා හා දිනූ
හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය – ආචාර්ය ජයලත් මනෝරත්න – හඬ නිහඬ
හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය – හසිනි භාග්‍යා රත්නායක – සැඟවුණ ලොවක හුදෙකලා ගවේෂණය
හොඳම ළමා සාහිත්‍ය කෘතිය – පළමු කාණ්ඩය – සිබිල් වෙත්තසිංහ – අවුරුදු කෑම
දෙවන කාණ්ඩය -තනුජා එන්. අයගම – මගේ ගුරුතුමා
හොඳම ශාස්ත්‍රීය පර්යේෂණ – දිල්හාන් මනෝජ් රාජපක්ෂ – සංශයවාදී හා ඥානයෙහි සීමා.
විවිධ විෂයක (සමාජ ශාස්ත්‍ර)- වික්ටර් පෙරේරා – පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය.
විවිධ විෂයක (මානව ශාස්ත්‍ර) – පියසීලි විජේමාන්න – භාෂා විමංසා.
විවිධ විෂයක (පරිවර්තන) – ගයාත්‍රී මනෝහාරි හේරත් – මගේ ජීවිත කතාව හෙවත් සත්‍යය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව.

පරිවර්තන කෘති.

ශාස්ත්‍රීය පර්යේෂණ -සම සම්මාන – ඩෙන්සිල් සේනාධීර
නිර්වාණය හා ආවවත්‍යත්වය
සම සම්මාන – විමලසේන විතානපතිරණ – දැහැමි අශෝක.
නව කතාව – ආනන්ද අමරසිරි – නොමේරූ තරුණයෙක්.
කෙටිකතා සංග්‍රහය – චන්දන මෙන්ඩිස් – වෙස්මුහුණ.
නාට්‍ය කෘතිය – වෝල්ටර් මාරසිංහ – ශ්‍රී හර්ෂදේවීගේ රත්නාවලි නාටිකා.
හොඳම පිටකවර නිර්මාණය – සරත් අමරකෝන්ගේ නොනවතින දඩයම කෘතියේ කවරය නිර්මාණය කළ ශාන්ත කේ. හේරත්
හොඳම නිමාවෙන් හා පිටුසැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය – සම්ප්‍රදාන කෘතිය වෙනුවෙන් අරුණ ලොකුලියන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here