සෙල්ෆි උමතුවක්

0
51

අප හා සේවය කරන තරුණ වෛද්‍යවරියක් දිනක් වෛද්‍ය විවේකාගාරයේ දී මතක හිටින කතාවක් කීවාය. ‘‘ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන කාටවත් හිතට එකඟව වැඩ කරන්න බෑ’’ ඒ මොහොතේ ඇය සිටියේ තම ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලය හා එක්වෙමිනි. ‘‘ඒ මොකද?’’ එතැන සිටි තවත් වෛද්‍යවරියක් ඇසුවාය.

‘‘කවුරුහරි තමන්ගෙ සෙල්ෆියක් ගහගෙන ෆේස්බුක් එකට දැම්මම ඒ පින්තූරෙ කොච්චර කැත වුණත් ‘‘ලස්සනයි, නයිස්’’ වගේ කමෙන්ට්ස් දාන්න වෙනවනේ. මමත් දැන් මේ කරන්නේ එහෙම වැඩක්’’ ඇය සිනාසුනාය.

මතුපිටින් බලන විට සරල සරදමක් සේ පෙනුණු එම වෛද්‍යවරියගේ කතාව ඊට වඩා මඳක් ගැඹුරින් විමසන විට පැහැදිලි මනෝ විද්‍යාත්මක පදනමක් ඇති කියමනක් සේ මට හැඟේ

සෙල්ෆි කලාව අද වන විට විනෝදාංශය යන සීමාව ඉක්මවා මාරක උපද්‍රව ගෙන දෙන බිහිසුණු කර්තව්‍යයක් බවට පත්ව තිබේ. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමෙන් සහ එය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වෙත එක් කිරීමෙන් යමෙකුට අහිංසක සතුටක් භුක්ති විඳිය හැකි බව ඇත්තකි. නමුත් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම යමෙකුගේ පෞරුෂ විෂමතාවයන් හුවා දක්වන්නක් බව ඔබ දන්නවා ද? ඒ අනුව යමෙකුගේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන ඔබට ඒ තැනැත්තා ඒ සඳහා සෙල්ෆි ඡායාරූප එක්කොට ඇති ආකාරයෙන් ඔහු තමන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන හෙවත් ආත්මරාගී (Narcissism) පුද්ගලයෙකු ද යන්න පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත.

ඇමරිකානු මනෝ වෛද්‍ය සම්මේලනය (APA) නිල වශයෙන් නිවේදනය කොට ඇති පමණ ඉක්මවා සෙල්ෆි ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම මානසික රෝගයකි. ඔවුහු එම රෝගය අදියර තුනක් වශයෙන් විස්තර කරති. Selsitis යනුවෙන් හඳුන්වන එම රෝගයේ අවස්ථා තුන මෙසේ ය.

1 – මායිම් සීමා අවස්ථාව :
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාලවලට එක් නොකිරීම.

2 – තීව‍්‍ර අවස්ථාව :
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාල හා එක් කිරීම.

3 – නිදන්ගත අවස්ථාව :
තමන්ට පාලනය කරගත නොහැකි ආකාරයට සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා දිනකට හය වරකට වඩා සමාජ ජාලා වෙබ් අඩවි වෙත එක් කිරීම.

ඒ කෙසේ හෝ හුදු විනෝදාංශයක් වශයෙන් වුව සෙල්ෆියක් ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ අවධානය එක් නිමේෂයක් තුළ හෝ බාහිර පරිසරයෙන් මුළුමනින්ම අත්මිදෙන බැවින් එය ජීවිත අවදානමකට ද හේතුවන බව විශේෂයෙන් සිහි තබා ගැනීම වැදගත් ය. මක්නිසාද ලෝකයේ විනෝදාංශ මුල් කොට ගත් අකල් මරණ අතරින් සෙල්ෆි මරණ (Selfie Death) ලොව ශීඝ‍්‍රයෙන් ඉහළ තැනකට පත්ව ඇති බැවිනි.

වෛද්‍ය සුගත් විජේවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, පේරාදෙණිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here