වැසිකිලියාමට පෙර අත් සෝදමු

0
50

මාව පාවෙලා පාවෙලා ආවේ දියවන්නාව පැත්තට. පාර්ලිමේන්තුවට හැරෙන්න සිග්නල් දැම්මත් ගිහින් වැටුණේ අනිත් පැත්තෙ තිබුණු ජනාකලා එකට. ජනකලා එකේ එළිමහනේ ඩෙස් බංකු පේළියට තියලා. හරියට ඒලෙවල් පන්තියක් වගේ. හැබැයි ඔක්කොම ඇදගෙන හිටියෙ නිල් කොට කලිසම්, සුදු කමිස, සුදු ගවුම්. ටිකක් ළං වුණාම තමයි දැක්කෙ මෙතන ඉන්නෙ ඔක්කොම දැකලා පුරුදු සෙට් එකක් කියලා. මෙතන ඉන්නෙ ඔක්කොම අපේ එම්පීස්ලා ඉස්කෝල ඇදුමට සෙට් එකම මාර ලස්සනයි.

‘‘කෑගහන්න එපා… සර් එනකම් අපි ඊයේ දීපූ පාඩම බලාගමු…’’

පන්තියේ මොනිටර් ඩෙක්ස් එකක් උඩට නැගලා කෑගහනවා. මොනිටර්ගේ වොයිස් එක ටිකක් හුරු නිසා ඇස් දෙක නිකම්ම ඒ පැත්තට පාත් වුණා. රනිල්ගේ සුදු මූණ දැක්කේ එතකොට. කොට කලිසමට මිනිහ හරි හැඩයි. හැබැයි එකෙක්වත් රනිල්ට සැලෙන්ඩර් නෑ. ළමයි ටික පාලනය කරගන්න බැරිම තැන රනිල්, එහා පැත්තෙ ඩෙස් පේලියේ ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්න නිමල්ට කතා කරා. නිමල් නැගිටලා හෙමින් හෙමින් රනිල් ළඟට කිට්ටු වුණා. නිමල්ගේ නිල් කලිසම බඩටම යටවෙලා තිබුණු නිසා මිනිහා ඉන්නෙ කලිසමක් ඇදලද නැද්ද කියලා හොයා ගන්නත් අමාරුයි.

‘මේ නිමල් කරුණාකරලා ඔයාගේ පැත්තෙ කට්ටිය ඔයා සැලෙන්ඩර් කරගන්න. මම අපේ අයව සැලෙන්ඩර් කරගන්නම්’

‘‘වැඩිය හයියෙන් කෑ ගහන්නේ අපේ අය නෙමෙයි ඕගොල්ලොන්ගේ අය’’

නිමල් සෙකන්ඞ් වෙන්නේ නැතුව රනිල් ඉස්සරහා කෙළින් හිටං ටොක් එක දුන්නා. එතකොටම ඈතින් සීනුවක් නාද වෙන සද්දයක් ඇහුණා. ළමයි ටික මීයට පිම්බා වගේ තම තමන්ගේ පුටුවලට වඩා වෙලා හරිම සංවර විදියට වඩාවුණා.
මෙච්චර වෙලා දඟල දඟලා ඉදලා සීනු සද්දෙට එකපාර පුටුවේ වාඩි වුණු පවිත‍්‍රාගේ සුදුගවුම උඩගිහින් තිබුණේ. ඒත් පවිත‍්‍රට ඒකේ වගේ වගක් නෑ.

‘එයි.. පවී… පවී…’

කවුදෝ එකෙක් හෙමින් කොදුරන සද්දෙට පවිත‍්‍රා පස්ස හැරිලා බැලූවා. විජිත මුණි හොරෙක් වගේ පවිත‍්‍රා දිහා බලාගෙන ඉන්නවා.

‘ඇයි මොකද… ’

‘ඔන්න උඩ ගිහින්.’

‘මොකක්ද….?’

‘ගවුම.’

‘ඉතින්’

‘පේනවා’

දඩ බඩ ගාලා නැගිට්ට පවිත‍්‍රා ගවුමේ රුලි ටික ලස්සනට හිටින විදියට ගවුම හදාගෙන හරිම විනීත විදියට වාඩි වුණා. එතකොටම සර්ලා තුන්දෙනා පන්තියට ළං වෙලා. සුදුපාට කලිසම් ඇදලා කලූ පටියක් බැදගෙන හිටපු මේ සර්ලා තුන්දෙනාගෙම අතේ සීනු 3ක් තියෙනවා. මේ තුන්දෙනාගෙන් ලොකු සර් තමයි අනුර. පොඩි සර් සුනිල්. මද්දුම සර් විජිත. සර්ලා තුන් දෙනා බෙදිලා පැන්තියේ පැති තුනකට ගියේ ළමයි 222ක් බලාගන්න එක ලේසි වැඩක් නෙමෙයි කියලා දන්න නිසා.

පන්තියේ ඉස්සරහටම ගියේ අනුර ලොකු සර්. ගුරුමේසෙ උඩට නැගලා ලොකු සර් කතාව පටන් ගත්තා.

‘ළමයි අපි අද ඉගෙන ගන්නෙ හොඳ සෞඛ්‍ය පුරුදු ගැන. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විදියට අපි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරොත් අපේ ජනතාවත් නිකම්ම ඒ පුරුදුවලට පුරුදු වෙනෙවා. කල්පනා කරලා බලන්න එහෙම නේද…’

‘එහෙම තමයි සර්’

ළමයි හැමෝම උත්තර දුන්නෙ එක හඬින්.

‘හොඳයි මට කියන්න බලන්න මොනවද හොඳ සෞඛ්‍ය පුරුදු.’

ලොකු සර්ගේ ප‍්‍රශ්නෙ අන්තිමට අකුර ටික කටින් පනින්න ඔන්න මෙන්න තියෙද්දීම ළමයි එක එකා එක එක උත්තර දෙන්න පටන් ගත්තා. ඔක්කොම එකට කෑගහන නිසා කියන කිසිදෙයක් පැහැදිලිව ඇහෙන්නෙ නෑ. ලොකු ගාලගෝට්ටියක් විතරයි ඇහෙන්නෙ. සර්ලා තුන්දෙනාම සීනුව වනන්න ගත්තේ ළමයින්ව කන්ට්‍රොල් කරන්නම බැරිතැන.

‘පිස්සෝ වගේ ඔක්කොම කෑ ගහන්නේ නැතුව එක එක්කෙනා උත්තර දෙනවා. උත්තර දෙන්න කැමති අය අත උස්සනවා.’

ළමයි 222ක්ම එක පාර අත ඉස්සුවා. ළමයි දිහා හොඳට බලපු අනුර ලොකු සර් තිස්ස ළඟට කිට්ටුවුණා.

‘අත්තනායක පුතා කියන්න බලන්න ඔයා දන්න යහපත් සෞඛ්‍ය පුරුද්දක්’

‘කෑමට පසු අත සේදීම. වැසිකිලි යාමට පෙර අතසේදීම’

අත්තනායකගේ උත්තරෙන් අනුර ලොකු සර්ට මළ පැන්නා.

‘උඹ මෙච්චර කල් ඒ විදියටද පුතේ අත හේදුවේ’

‘ඔව් සර් ඇයි ඒක අවුල් ද…’

‘ඒක අවුල්ද නැද්ද කියලා අපි ළමයින්ගෙන්ම අහමු’

අනුර වටපිට බලලා මොනිටර්ට අගිල්ල දික් කරා.

‘රනිල් පුතා කියන්න බලන්න ඒක හොඳ සෞඛ්‍ය පුරුද්දක්ද…? නැද්ද..?

‘මට ඒ ගැන අදහසක් නෑ…’

‘එහෙම අදහසක් නැති වෙන්න බෑනේ පුතේ… හොඳයි මං ඒ ප‍්‍රශ්නෙ වෙන විදියකට අහන්නම් කෝ.. පුතත් අත හෝදන්නේ ඒ විදියටද…’

‘මම කන්නේ අතින් නෙමෙයි හැදි ගෑරුප්පුවලින්’

‘එතකොට රෙන්නෙ…?’

ඒ වොයිස් එක ආවේ පන්තියේ කොණෙන්ම. මුතුහෙට්ටිගම ඒ ප‍්‍රශ්නෙ අහලා හයියෙන් හිනාවුණා.

‘මුතුහෙට්ටි පුතේ රෙනවා කියන වචනෙ මන්ත‍්‍රී කෙනෙක්ට සුදුසු වචනයක් නෙමෙයි’

‘එහෙනම් මොකක්ද සර් මන්ත‍්‍රී කෙනෙක් ඒකට කියන්න ඕන හොඳම වචනේ’

ටිකක නලවල පද්දලා ඒ ප‍්‍රශ්නෙ ඇහුවේ පබා.

‘පබා දූ අපි මන්ත‍්‍රීවරු විදියට රෙනවා කියන වචනෙ වෙනුවට පාවිච්චි කරමු කක්කි කරනවා කියලා දැන් මුතුහෙට්ටිගම පුතා ඒ ප‍්‍රශ්නෙ නිවැරැුදිකරලා අහන්න බලන්න.’

‘එතකොට කොහොමද කක්කි කරන්නෙ’

‘මම කක්කි කරන්නෙත් ඔයා කක්කි කරන තැනින්ම තමයි. හැබැයි මම ඒවා හෝදන්නෙ නෑ. ටොයිලට් පේපර් යූස් කරලා පිහිදනවා. ඒ නිසා ඔය අතහෝදන එක ගැන මට අයිඩියා එකක් නෑ සර්’

රනිල්ගෙන් ප‍්‍රශ්න අහන එක තේරුමක් නෑ කියලා තේරුම් ගත්ත ලොකු සර් අනිත් ළමයි දිහා බැලූවා.

‘අත්තනායක පුතා කියපු සෞඛ්‍ය පුරුද්ද හොඳ එකක්ද නරක එකක්ද කියලා කාටද හරියටම කියන්න පුළුවන්’
ළමයි එකෙක්වත් කතා නෑ.

‘මොකද කතා නැත්තෙ… ප‍්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න දන්නෙ නැද්ද.’

‘අපිටත් ඒ ගැන අදහසක් නෑ සර්’

‘ඇයි උඹලත් කන්නේ ගෑරුප්පු වලින්ද…? කක්කි දාලා පිහිදන්නේ ටොයිලට් පේපර්ස්වලින්ද…?
ළමයි නිහඬයි. මේ නිහඬතාව බින්ඳෙ නාමල්.

‘‘සර් මම නම් කන්න ගියාම ඒකට එක එක සිස්ටම් පාවිච්චි කරනවා. ලෙවකාලා කනවා, ලොවලා, කනවා, හපලා කනවා. ඇහිදගෙන කනවා. හොරාකනවා, ඉල්ලන් කනවා, උලා කනවා, හිඟාකනවා,’

නාමල් තවත් කන විදි කීපයක්ම එක හුස්මට කියාගෙන ගියා.

‘හරි එතකොට කක්කි දාන කොට’

‘මම කක්කි දාන්නෙ නෑ. මට කක්කි යනවා. ඒක වෙන්නෙ කොයි වෙලාවෙද කියලා මට අයිඩියා එකක් නෑ. ඉදලා හිටලා පැම්මපර් මාරු කරනකොට තමයි කක්කි ගිහින් කියලා දැනගන්නෙ’

‘අපි බලමුද නාමල් ට දැන් කක්කි ගිහින්ද කියලා’

ඒ යෝජනාව පබාගේ වොයිස් එකෙන්. තප්පර දෙකට ක‍්‍රියාත්මක වුණු නාමල් නිල්කලිසම ගලවලා පැම්පර් එක එළියට ගත්තා.

‘අනේ මට කක්කි ගිහින්’

නාමල් පැම්පර් එක වටේට වන වන කෑගහුවා. ඒ ගඳට පන්තියෙන් 2/3ක් සිහිය නැතුව ඇදගෙන වැටුණා. ගඳ දරාගන්න බැරුව මමත් ඇදගෙන වැටුණා.

කොන්ද ඇනුණු වේදනාවට මට ඇහැඇරුණා. එතකොටයි මම දැක්කෙ මම ඇද පල්ලෙහා බිම වැටිලා ඉන්නවා.

ලිව්වේ – සායා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here